Monday, June 20, 2011

නාය යැමෙන් උන්හිටිතැන් අහිමි වූ ප්‍රියන්තට නිවසක්‌ තනාගැනීමට ඉඩමක්‌ ලබා දෙන්න



ප්‍රියන්තයි නිසංසලයි කියන්නේ තරුණ අඹු - සැමි යුවළක්‌. මේ දෙන්නට පුතෙකුයි දුවෙකුයි දෙන්නෙක්‌ ඉන්නවා. දෙන්නම ගමේ පාසලේ ඉගෙන ගන්නවා. ප්‍රියන්ත දැතෙ වීරියෙන් වැඩක්‌ පලක්‌ කරලා තමයි දරු පවුල ජීවත් කරවන්නෙ.

මේ පුංචි පවුල පදිංචිවෙලා ඉන්නේ අරණායක ප්‍රාදේශීය මහ ලේකම් කොට්‌ඨාසයේ සැලව නැගෙනහිර ගම්මානයේ. මේ ගම ලොකු ජනගහනයක්‌ ඉන්න ගමක්‌. ඒ නිසා මෙහි වැසියන් වැඩි දෙනෙක්‌ පුංචි ඉඩම් කෑලිවල තමයි පදිංචිවෙලා ඉන්නෙ.

ප්‍රියන්තලා පදිංචිවෙලා හිටියෙත් එයාගෙ තාත්තට අයිති පුංචි ඉඩම් කෑල්ලක. සැලව නැගෙනහිර වෙල්යායට දියවර ලබාදෙන පරගහවල අමුණ අද්දර බෑවුම් සහිත ඉඩමක තමයි මේ පුංචි පවුල් කටුමැටි ගැසූ පුංචි කැදැල්ල හදාගෙන හිටියේ. අවුරුදු දහතුනක්‌ පදිංචිවෙලා හිටපු පැල්පත වෙනුවට ස්‌ථීර නිවහනක්‌ හදාගැනීමේ අදිටනින් ප්‍රියන්තයි නිසංසලයි ඒ සඳහා අවශ්‍ය බඩුමුට්‌ටු ටික ටික එකතු කර ගනිමින් සිටියා.

මේ අතරෙ තමයි පසුගිය දවස්‌වල දෝරේ ගලන මහවැස්‌සක්‌ සැලව ගමට කඩා වැටුණේ. මේ වැස්‌සට ප්‍රියන්තලාගෙ වැට මායිමේ තිබුණ අමුණ නායගියා. ඒ එක්‌කම ප්‍රියන්තලා පදිංචිවෙලා හිටපු ඉඩම් කෑල්ලත් නාය ගියේ ඔවුන්ට සෙවණ දුන්න පුංචි පැල්පතත් බිමට සමතලා කරමිනුයි. නාය යන ලකුණු කල්තියා දකින්න ලැබුණා නිසා ප්‍රියන්තයි නිසංසලයි දරුවො දෙන්නයි අනූනවයෙන් ජීවිතේ බේරගත්තා.

අරණායක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ ඇවිල්ලා ප්‍රියන්තලාට වෙලා තිබුණ හානිය ගැන බලාගෙන ගියා. ඒ අනුව වන්දියකුත්දෙන්න කටයුතු කළා. එයින් බාගයක්‌ දීලා ඒ අය කීවා ගේකට අත්තිවාරම දමලා ඉතිsරි කොටස ගන්න එන්නය කියලා. ඒත් ප්‍රියන්තලාට දැන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොයිවෙලාවේ නාය යයිද කියන්න බැරි මේ පුංචි ඉඩම් කෑල්ලේ ආයෙත් ගෙයක්‌ හදාගෙන ඉන්නෙ කොහොමද කියන එකයි ඒ ප්‍රශ්නෙ. මෙයාලට වෙන ඉඩම් නෑ. දැනටමත් තාවකාලිකව පදිංචි වෙලා ඉන්නෙ තවත් පවුල් කීපයක්‌ ඉන්න ප්‍රියන්තලාගෙ මහගෙදරයි. එතන ඔක්‌කෝටම ඉන්න අමාරුයි.

ප්‍රියන්තයි නිසංසලයි ඉල්ලන්නෙ ගෙයක්‌ හදාගන්න කොහෙන් හරි ඉඩම් කෑල්ලක්‌ ලබාදෙන්න කියලයි. උන්හිටිතැන් අහිමිවෙලා ඉන්න මේ පුංචි පවුලට රජයෙන් හරි පරිත්‍යාග ශීලී දානපතියෙක්‌ හරි ඉඩම් කෑල්ලක්‌ ලබාදෙනවානම් එය මහඟු පින්කමක්‌ කියලයි අපට කියන්න තියෙන්නේ.

අරණායක - ගරුමුණි තිලකරන්න - 2011.06.21 - දිවයින

No comments: