Monday, June 13, 2011

හෙට දවසේ තිසුරිට ඇහෙන්නේ ඔබේ පිනෙන්



මේ පුංචි දියණියගේ සිනහව මොනතරම් නම් අපූරුද බලන්න.

අද දවස කොහොමද? හෙට මොනවා වෙයිද? ඉර හඳ තාරකා පායයිද මේ පුංචි හිත ඒ දේවල් කිසිම දෙයක් දන්නෑ.

මුළු ලෝකයම එයාගේ කියලා එයා හිනාවෙනවා. ඒත් ඒ හිනාව යටින් ඈට නොතේරෙන පුංචි අඳුරු වලාපටලයකුත් තියෙනවා. ඒත් ඒ බව තාම මෙයාට හරිහමන් වැටහීමක් නැහැ. ඒ නිසයි ඔය තරම් සුන්දරව මෙයා හිනාවෙවි ලෝකය දෙස බලා ඉන්නේ.

තවමත් අවුරුද්දයි මාස හයක් වයසැති මේ පුංචි දියණි තිසුරි කවිත්මා රාජකරුණා. කටුදෙණිය මාතලේ ඉන්න තිසුරි වසන්ත රාජකරුණාගෙත් චන්දිමා විජේරත්නගෙත් ආදරණීය දෙවැනි දියණියයි.

අද අපි ’ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ ඔස්සේ මේ පුංචි දියණිය ගැන ඔබට කියන්නේ එයාගේ ලෝකය එයාට විඳින්න අවස්ථාව උදාකරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් වේවි කියන බලාපොරොත්තුවෙන්.

තිසුරි මේ ලෝකයට පය තියන්නේ ජීවිතේ ගැන අබමල් රේණුවක තරම්වත් දෙයක් නොදැන. ඔබ අපි වුණත් එහෙමයි. ඒත් අපි දණගහලා වැටි වැටි ඇවිදින කොට මේ මහපොළව අපිට දැනෙන්න ගන්නවා.

සතා සිව්පාවා හඳුන ගන්නවා. පස්සේ ඔබ අපි ඒ සියල්ල වචනවලට තෙපලනවා. ඊට පස්සෙයි අපි කවුරු කවුරුත් ජීවිතය තේරුම් ගන්න උත්සාහ ගන්නේ. ඒත් මේ පුංචි තිසුරි සියලු වාසනාව එක්තැන් කරගෙන මෙලොවට පය තැබුවත් පුංචි අවාසනාවකුත් ඒ සමඟම ඇය අරගෙන ආවා.

”මේ මගේ දෙවැනි දුව තාම අවුරුදු එකහමාරයි. පොඩි කාලේ ඉඳන්ම දුවගේ යම් අමුත්තක් අපිට තේරුණා. ඊට පස්සේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට දුව එක්කරගෙන ගියාට පසුවයි දැනගත්තේ දුවගේ උපතින්ම කන ඇහෙන්නේ නැහැ කියලා. දුව උපදිනකොට බොහෝම නිරෝගිව හිටියේ. දැන් වුණත් දුව දකින කෙනෙකුට එයාට මෙහෙම ආබාධයක් තියෙනවාද කියලා හිතන්න බැහැ.”

”මම දුව ඉස්පිරිතාලේට අරගෙන ගියාට පස්සේ සිසිර බණ්ඩාර වෛද්‍යතුමන් තමයි දුව පරීක්‍ෂා කළේ. ඊට පස්සේ කිව්වා දුව සම්පූර්ණයෙන්ම ශ්‍රවණාබාධිතයි. ඒ නිසා අවුරුදු දෙක පිරෙන්න කලින් මේ සැත්කම කළොත් දුවට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා.”

මේ වෙනකොට මේ පුංචි දියණියගේ කර්ණ ශංඛ බද්ධයට වෛද්‍යවරුන් දින නියම කර ඇත්තේ ජූලි මස 05 දිනයි. ඒ සඳහා තවත් හරියටම ඇත්තේ සති කිහිපයක කාලයක් පමණමයි. සිසිර බණ්ඩාර වෛද්‍යතුමන් මේ සැත්කම නොමිලයේ සිදුකරත් ඒ වෙනුවෙන් අවශ්‍ය උපකරණ සඳහා රුපියල් ලක්‍ෂ 17 ත් 24 ත් අතර මුදලක් සොයාගත යුතු බව මේ මාපියන්ට දැනුම් දීලා.

”මට රැකියාවක් කියලා ස්ථිර රැකියාවක් නැහැ. මම කරන්නේ මේසන් වැඩ. ඒත් මේ වගේ ලොකු මුදලක් හොයාගන්න එක අපිට ලොකු හීනයක්. තව අපිට තියෙන්නේ ටික කාලයක්. අපි ජනාධිපති අරමුදලට දැන්වුවා.

එතැනදි ලක්‍ෂ තුනක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුණා. මම බොහෝම අමාරුවෙන් මේ පවුල ජීවත් කරවන්නේ. ලොකු දුව තුන වසරේ. එයාගේ පාසල් කටයුතු හොයා බලන්නෙත් හුඟක් අමාරුවෙන්. අනේ පුළුවන් නම් මගේ දුවට ඇහෙන්න සලස්වලා දෙන්න. ඒක ලොකු පිනක්.”

ආර්ථික අපහසුතා රාශියක් මැද ජීවිතය ගෙවන වසන්ත ඇතුළු මේ පවුලට මේ තරම් මුදලක් හොයාගන්න එක අද හීනයක් විතරමයි. ඒත් මේ පුංචි දෝණිගේ හෙට දවස අඳුරු වෙනකම් කාටද බලා ඉන්න පුළුවන්.

ඒ නිසයි මේ සටහන අපි දෝණි වෙනුවෙන් ඔබ ඉදිරියේ තියන්නේ. හැකි ඉක්මනින් මේ දෝණිට ලෝකය කතා කරන දේ අහන්න වාසනාව ළඟාකරලා දෙමු. එදාට ඒ තරම් සතුටක් මේ අම්මයි තාත්තයි අක්කයි වගේම මේ පුංචි දෝණිටත් දැනේවි. හැමදාමත් වගේ සරණක් සොයන මිනිසුන් වෙනුවෙන් දිගුකළ ඔබේ පුණ්‍යවන්ත දෑත් පුංචි තිසුරි දෙසටත් යොමුකරන්න හැකි නම් ඒ පිනම ඇති ඔබට මේ ආත්මේ නිවන් යන්න.


ලිපිනය – අංක 147/64/5

නව ගම්මානය කටුදෙණිය, මාතලේ.

දුරකතනය – 0723 795005
ගිණුම් අංකය – මාතලේ ලංකා බැංකුව - 71709863



Silumina - 2011.06.14

No comments: