Sunday, May 29, 2011

මේ වෙසක් මහේ ගුණවතීගේ පවුලේ දුක් ගින්දර නිවා දමමු



මිනිස්සු ජීවත්වෙන්න මොනතරම් දුක් විඳිනවද කියලා දකින්න මේ මහපොළවේ පයගහලම බලන්න ඕන. ඒ අතරේ ඔබ ඔබම ජීවත් කරන්න මොනතරම් වෙහෙසෙනවද කියලා නිකමට හරි හිතලා තියෙනවද? නැහැ නේද? ඇයි හේතුව එහෙම හිතන්නවත් වෙලාවක් ඔබට අපට නැහැ. ඒ තරමටම අපි කාර්ය බහුල වෙලා. සමහරවිට යන්ත්‍ර බවට පත්වෙලා කීවොත් ඒකත් වැරැදි නැහැ. ඇත්තටම ජීවත්වෙන්න අපි හැමෝම ගොඩක් දුක් විඳිනවා.

ඒ ඔබ අපි වගේම ගුණවතීටත් ඕන තමන්ගේ ජීවිතය සැපවත්ව ගතකරලා මියැදිලා යන්න නෙමෙයි. ඇස්දෙක වගේ මෙතුවක් කාලයක් රැකබලා ගත් දරුපැටව් තුන්දෙනාගේ ජීවිතවලින් දුක කියන දේ තුරන්කරලා දාන්නයි.

අම්මා කෙනෙක් විදිහට ගුණවතීගේ හදවත දරුසෙනෙහසින් පෝසත් වුණත් පෙරකළ කරුමයකටද නැතිනම් දෛවයේ සරදමකටදෝ අද අසරණ කමේ අගාධයටම ඇයත් දරුවන් තුන්දෙනාත් ඇදගෙන වැටිලා. ඒ අසරණකම කියන්න ඇයට කාත් කවුරුත් අහලකවත් නැහැ.

ජීවිතේ එකට බෙදාගන්න අත්වැල් බැඳගත් ගුණවතීගේ සැමියා පුංචි බණ්ඩා අද ආගිය අතක් නැහැ. සමහර විටෙක පුංචි බණ්ඩා ගුණවතිත් මේ කෙළිපැටික්කියන් තිදෙනාත් තනිකර දමා ගියාද? එහෙමත් නැතිනම් පුංචි බණ්ඩාගේ ජීවිතයට කුමක් හෝ සිද්ධ වුණාද? අද ඒ සියල්ලට විසඳුම් දන්නේ උඩඉන්නා දෙවියන් පමණක් බව ඔබට කියන්න ඕන. ජීවිතයෙන් බිංදු මාත්‍රයක් ඔස්සේ අද අපි ඔබ ඉදිරියේ ලෙහා දමන්නේ ජීවත් වෙන්න අනේක දුක්විඳින ඩී.ජී. ගුණවතීත් ඇගේ දියණියන් තිදෙනාගෙත් කතාවයි.

බිබිල කරාඬුගල ගම් පියසේ සිට තවත් සැතපුම් කිහිපයක් ඇතුළට වෙන්න මහගම ගම් ගොඩැල්ල පෙදෙසේ ඇති ඔබ දකින මේ පුංචි පැල්පත ගුණවතීටත් දෝණිනැන්දලටත් මහමෙරක් වගේ. සමහරු බුමුතුරුණු ඇතිරූ සත්මහල් ප්‍රාසාදවල පස්කම්සැප විඳිද්දී අද ගුණවතීලා වැහැරිලා ගිය මේ පැල්පතේ කෙසේ හෝ ජීවත්වෙන්න වාරු ගන්නවා.

”පසුගිය ටිකේම වැහැපු වැස්සට බොහෝම අමාරුවෙන් අපි හිටියේ. මේ පැල්කොටේ මැද්දෙන් වතුර ගලාගෙන යනකොට එළිවෙනකම් මම මගේ කෙල්ලෝ තුන්දෙනා ළංකරගෙන මුල්ලකට වෙලා ඇහැරලා ඉන්නේ පපුව පිච්චි පිච්චි. කොයි වෙලාවේ මේක කඩාගෙන වැටෙයිද කියලා කියන්න බැහැ. මේ විඳින දුක කියන්න කාත් කවුරුත් ළඟ පාතක නැහැ මහත්තයෝ. අද අපි ඉන්නේ ගොඩක් තනිවෙලා අසරණ වෙලා.”

ගුණවතීගේ දෙනෙතින් කඩා වැටෙන කඳුළු කැට අතරින් ඒ අසරණකම අපට හුඟක් හොඳින් වැටහුණා. මෙතුවක් කාලයක් දරුවන්ටත් හොරෙන් කඳුළු වැගිරූ ගුණවතීගේ හදවතේ ඇති දුක අපි ඉදිරියේ ලෙහා දමන්න ඉඩදී අප බලා සිටියේ හදවතට දැනුණු දුක නොපෙන්වමින්.

”මේ දරුවන්ගේ බඩගින්න නිවන්න මම ගොඩක් දුක් විඳිනවා. ලොකු දුවට අවුරුදු දහසයක්. දෙවැනි දුවට අවුරුදු නමයයි. පොඩිදුවට අවුරුදු අටයි. තුන්දෙනාම ස්කෝලේ යන්න ගොඩක් ආසයි. ඉගෙන ගන්නත් දක්‍ෂයි. මහත්තයලාට ඇත්ත කියන්න මම වැස්සකටවත් ස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයි. අද අපි දුක් විඳින්නේ ඒ හන්දා. ඒත් මම මේ විඳින දුක මේ දරුවන්ට විඳින්න දෙන්න බැහැ.”

ගුණවතීගේ කුඩා නිවෙස


පසුගිය දිනවල ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව ඉවක් බවක් නැතුව හැම තැනටම ඇද වැටී දෝර ගලායද්දී මේ පුංචි පැල්පතේ මුල්ලක තිබුණු දියණිවරුන්ගේ පොත්පත් ටිකත් කාටත් හොරා අරගෙන ගියේ හිත්පිත් නැතුවමයි. ඒ නිසාම දින ගණනාවක් ඉස්කෝලේ යන සිහිනය සිහිනයක්වම තියාගන්න මේ දියණියන්ට සිද්ධවුණා.

”මෙතන ඉඳලා ඉස්කෝලේට හැතැප්ම හය හතක් විතර තියෙනවා. මේ දරුවෝ ඒ තරම් දුරක් යන්නේ පයින්මයි. සපත්තු කෑලි දෙකක්වත් නැතුව ඒ තරම් දුරක් පයින් යන්න බැහැ. ලොකුදුව මාස හතරක් විතර පාසලට ගියේ නැහැ. කකුල් දෙකට සපත්තු දෙකක් නැතුවම බැරිම තැන කොහොමහරි දුක් විඳලා මම සපත්තු දෙකක් අරගෙන දුන්නා. මේ තුන්දෙනාම ආසයි ඉස්කෝලේ යන්න. ඒත් ඕන පොත්, පැන්සල් අරන් දෙන්න මට ආර්ථිකයක් නැහැ.

දවස තිස්සේ කොහොමහරි මහන්සිවෙලා එක වේලක් හරි මේ දරුවන්ට දෙන්න මම මේ මහපොළවත් එක්ක හැප්පෙනවා. දුවලට කන්න ඕන දෙයක් හරි ආස දෙයක් හරි තියෙනවා නම් කවදාවත් මට කියලා ඒවා ඉල්ලලා නැහැ. මම විඳින දුක දැකලා එයලා ඒවා හිතේ තියාගෙන ඉන්නවා. මට තේරෙනවා මහත්තයෝ පුංචි වුන් ආස දේවල්. ටොපියක්, චොක්ලට් එකක් තියා සෙල්ලම් බඩුවක්වත් දෙන්න පුළුවන් ශක්තියක් මම ළඟ නැහැ.”

”රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ”. මාලනී බුලත්සිංහල අපූරුවට ගැයූ ගීතය මගේ මතකයට ආවා. ජීවිතේ කියන්නේ මේකද? ඇස්වල පුරෝගත්තු කඳුළු කැට හංගාගෙන මේ දියණියන් තිදෙනා මුහුණ දෙන්න බැරි තරම් ලැජ්ජාවකින් ඉන්න වග අපට තේරුණා. ඒ නිසයි මේ අසරණකම ඔබ ඉදිරියේ තියන්න අපි කල්පනා කළේ. අද ගුණවතීගේ ආර්ථිකය ගොඩගන්න ඇයට එකම පිළිසරණ වී ඇත්තේ මේ සියල්ල නිසොල්මනේ බලා සිටින මහවනය විතරමයි.

”මේ දරුවන්ගේ තාත්තා ඉන්න කාලේ කුලියක් හරි කරලා කීයක් හරි හොයාගෙන ආවා. ඒත් අද එයා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ දරුවෝ තුන්දෙනයි මමයි තනිවුණා. එදා ඉඳලා මම මේ කැලේ ඇතුළට ගිහින් නෙල්ලි, අරළු, බුළු හොයාගෙන ඇවිත් කොහොමහරි විකුණගන්නවා. ඒ ගියත් දවස් දෙක තුනක්වත් කැලේ ඉන්න බලාගෙන යන්න ඕන.

අද මට එහෙමවත් කරන්න බැහැ මේ දරුවෝ තුන්දෙනා තනියෙම හන්දා. මට බයයි මේ දරුවන්ට කරදරයක් වෙයි කියලා. ඒ නිසා ගිය පයින්ම පුළුවන් ඉක්මනට ආපහු එනවා.

එහෙම ගිහින් හිස් අතින්ම ගෙදරට ආව වාර අනන්තයි. මහත්තයලාට තේරෙනවා ඇති මේ පැල්කොටේ මමයි මේ ගෑනු දරුවන් තුන්දෙනයි ගෙවන ජීවිතය කොහොමද කියලා. මට කොහොමහරි දුක්විඳලා මේ දරුවන්ගේ බඩගින්දර නිවාගන්න පුළුවන්. ඒත් පුළුවන් නම් කාටහරි කියලා මේ දරුවන්ට ඉස්කෝලේ යන්න පෑනක් පැන්සලක් පොතක් පතක් අරන් දුන්නොත් ලොකු පිනක්.”

ගුණවතීට තියෙන්නේ අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක්. එහෙත් මේ පුංචි පැල්පතේ හෙට දවස පැහැබර කරන්න හැකියාව තියෙන්නේ ඔබට අපට විතරමයි. මේ වෙනකොටත් ගුණවතීලා ගෙවන ජීවිතයට යම් සරණක් ලබා දෙන්න ගමේ ස්වේච්ඡා ආයතනයක් ඉදිරිපත් වුණේ හැකි විදිහට උදව්වක් ලබා දීමේ අරමුණින්. ගුණවතීගේ නිවහන ගොඩනඟන්න ඔවුන්ට සුළු වශයෙන් ශක්තියක් දීමට හැකි බවත් පුළුවන් නම් පින් කැමැති බොහෝ අයට ඒ වෙනුවෙන් දායක වෙන්නට හැකියාව තිබෙන බවත් ඔවුන් අපට කිව්වා.

එහෙත් බැංකු පොතක ගිණුමක් තියා ගුණවතීලා සම්බන්ධ කරගන්න කිසිම හැකියාවක් නැති තැන අප ගමේ ස්වෙච්ඡා සංවිධානයේ දුරකතන අංකය ලබාගත්තේ ඔවුන් හරහා ගුණවතීලට සරණක් වෙන්න පුළුවන් කියන අරමුණින්. අදටත් මේ දිරාගිය පැල්පතේ බොහෝ දුක් ගින්දරක් උහුලමින් ජීවිකාව ගෙවන ගුණවතීත් මේ ආදරණීය දියණියන් තිදෙනාගේ ජීවිතවලටත් අඳුර නසා ආලෝකය එක්කළ හැක්කේ දයාබර පින් සිත් ඇති ඔබට විතරමයි.

හැකි නම් ගුණවතීගේ දියණියන්ට පෑනක් පැන්සලක් පොතක් හෝ ලබාදෙන්න පුළුවන් නම් ඒක ගුණවතී ගෙවන දුක්ඛිත ජීවිතයට අස්වැසිල්ලක් වේවි. ඒක එහෙම වෙනවා නම් ඇත්තටම ඔබ එය කරන විශාල පුණ්‍යකර්මයක්. 2600 සම්බුද්ධත්ව ජයන්තිය ගෙවන මේ පින්බර වෙසක් මහේ එය අප ඔබ කරගන්නා නිම කළ නොහැකි කුසලයක් වේවි.

ගමේ ස්වෙච්ඡා ආයතනයේ දුරකතනය – 055 - 2265160

පුන්සරා දැරියගේ ඇටමිදුලූ බද්ධයට ආධාර අවශ්‍යයි


මාතර, කඹුරුපිටිය පිටකටුවන රවිදු සෙවනෙහි පදිංචි දිනිති පුන්සරා රාජපක්‍ෂ නමැති පස්‌ හැවිරිදි දියණිය පැන්කෝනි ඇනිටියා නමැති ඇට මිදුලුවලින් රුධිර සෛල නිපදවීමේ ඌණතාවකින් පෙළේ. මාර පලොල්පිටිය මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඇය දැනට කඹුරුපිටිය මූලික රෝහලෙන් හා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ගනී. ඇයගේ ජීවිතය බේරාගැනීමට ඇටමිදුලු බද්ධ කිරීම සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇය ඉන්දියාවට රැගෙන යායුතු අතර එම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 2.5 ක්‌ 3.0 ක්‌ අතර මුදලක්‌ වැයවේයයි අපේක්‍ෂා කරයි. ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන ඇගේ දෙමාපියන්ට එතරම් මුදලක්‌ සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා පරිත්‍යාගශීලී සැමගේ ආධාරය දැරියගේ පියා වන සුදත් රෝහණ රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කරයි. ඔහුගේ නමින් කඹුරුපිටිය මහජන බැංකු ශාඛාවේ ඇති 133-2-002-0-0020811 දරන ගිණුමට ඔබේ ආධාර බැරකළ හැකිය. පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය

Friday, May 20, 2011

මේ හතර දෙනාගේ ජීවිතය මහ පාරේ



මිනිසුන් මිහිපිට උපදින්නේ තරාතිරම, වත් පොහොසත්කම්, කුලමල, උස් පහත්කම් බලලා නෙමෙයි. පොළොවට පයගහනකොට අපි මේ ලෝකේ කළු ද සුදු ද කියලා කවුරුත් දන්නෑ. ඒත් ඉතිං උපන් පොළොවේ ජීවත්වෙන්න අපි කොයි කාටත් සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි සමහරුන් පස්කම්සැප විඳිද්දි තවත් සමහරුන් අන්ත අසරණව දුගීව උපදින්නේ. ඒ හැමදේටම අපි කියන්නේ පෙර කළ කරුම කියලා. මොනවා කරන්න ද උපන්නානම් ජීවත්වෙන්නත් එපැයි. එහෙම ජීවිතේ ගෙනයන්න මේ මහ පොළොවත් එක්ක හරි හරියට මිනිස්සු වාරු වෙනවා. ටිකක් හිතන්න අද ඔබ අප හැමදේම කරන්නේ ජීවත්වෙන්න නේද කියලා.

ඒත් අපි එකිනෙකාට දුරස්ව මේ සමාජයේ ජීවත්වෙන්න අමාරුයි. කාගේ හෝ හයිහත්තියක් මොන විදිහකින් හරි අපි කොයි කාටත් ඕන වෙනවා. අන්න එහෙම සරණක් ඕන පවුලක් අද අපි ‘ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ කිසිම හව්හරණක් නැතිව මහපාර පමණක් උරුමව පත්තර මහගෙදරට ආ නිසයි. බලන්න මේ අසරණ පවුල අද ඉන්නේ ගතින් මෙන්ම සිතින් ද අසරණ වෙලා.

“පසුගිය දවස් ටිකේම හරිහමන් කෑමක් මේ දරුවන්ගේ බඩට වැටුණේ නැහැ මහත්තයෝ. එක දිගට වැස්ස තිබුණ නිසා හරියට වැඩක් පලක් ලැබුණේ නැහැ. බැරිම තැන අපි මේ මහත්තයලා හොයාගෙන ආවේ. අපි දෙන්නා ඇති වෙනකම් දුක් විඳලා තියෙන්නේ. මේ දුක බඩගින්න අපිට හුරුයි. ඒත් මේ දරුවෝ බඩගින්නේ අඬනවා බලාගෙන ඉන්න බැහැ.”

කතාවේ ආරම්භය පුදුමාකාර සංවේදියි කියලා අපිට තේරුණා. අපිට මොන හැම දුකක්ම උහුලගෙන ඉන්න පුළුවන්. ඒත් බඩගින්න උහුලගන්න පුළුවන් කාට ද? බැරිම වුණොත් වතුර ටිකකින් හරි අපි ඒ බඩගින්න නිවා ගන්නවා. ඒත් කුඩා දරුවෙකුට...? අපි එතැනට ප්‍රශ්නාර්ථයක් තියන්නේ ඒ හැඟීම ඔබ අප කවුරුත් දන්නා නිසා.

වයස අවුරුදු 32 ක් සපුරන ‘උපුල් තුෂාර’ රාජාංගණය යාය අට ප්‍රදේශයේත් අවුරුදු 29 ක් වයසැති ‘නිරෝෂා ගුණරත්න රාජාංගණය යාය දහතුන ප්‍රදේශයේත් ජීවිතය ගෙවද්දී සංසාර පුරුද්දකට මේ දෙදෙනාට එක්තැන් වෙන්නට වාසනාව උදා වෙනවා. හැබැයි එක දෙයක් අපි ඔබට කියන්න ඕන. උපුල්ටත්, නිරෝෂාටත් කාත් කවුරුවත්ම වගේම ඉන්න හිටින්න තැනැක්වත් ඒ වෙනකොට තිබුණේ නැහැ.

“කීයක් හරි හොයාගන්න මම කළේ පොල් කඩපු එක. මාව දරුකමට හදාගත්ත අම්මා මියැදුණාට පස්සේ මට එහෙ ඉන්න, අනෙක් අය අවසර දුන්නේ නැහැ. එතැනින් පස්සේ තමා පාරට වැටුණේ. අපි දෙන්නා මුණ ගැහෙනකොට කාත් කවුරුවත් අපිට නැහැ. අපේ නවාතැන් පොළ වුණේ රාජාංගණය පොළ විතරයි.”

උපන් දා සිට කාත් කවුරුවත් නැතිව හිටපු උපුල්ට ජීවිතයේ විඳින්න පුළුවන් උපරීම දුක් විඳින්න සිද්ධ වෙලා. ඒ විතරක් නෙමෙයි නිරෝෂාටත් එය පොදු කාරණයක් කියන එකත් අපි කියන්න ඕන. කොහොම වුණත් පාදයේ ආබාධයකින් පෙළෙන උපුල් මේ දරු පවුල ජීවත් කරන්න නොවිඳිනා දුක් විඳින වග ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය පෙනුම තව තවත් අපට කියාපෑවා.

“අපි ළඟ තියෙන්නේ හැඳුනුම්පත විතරයි. කොහොමහරි ජීවත්වෙන්න ඕන නිසා මම දැන් යකඩ කෑලි අහුලලා විකුණනවා. ඒ දේ කළත් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඒ ලැබෙන දෙයින් තමා අපි හතර දෙනා ජීවත්වෙන්නේ. මගේ ලොකු දුව සඳුනි මධුෂානිට දැන් අවුරුදු තුනයි. පොඩි දුව නිපුනි මධුෂානිට මාස පහයි. අපි හතර දෙනාම පහුගිය දින ටිකේ හිටියේ කඳානේ. මහ පාර අද්දර කඩයක් අයිනේ අපි හවසට ඇවිත් ඉන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මහ පාරේ තමයි අපි ජීවත් වෙන්නේ.”

විශ්වාස කරන්න මේ වෙනකොටත් මාස පහක මේ පුංචි දියණිය සැත්කම් කිහිපයකටම මුහුණ දීලා. පපුව ප්‍රදේශයත් හිස ප්‍රදේශයත් සැත්කම්වලට භාජනය වුණේ විෂබීජ ඇතුළු වී සැරව ගෙඩි හටගත් නිසයි. පුත්තලම මහ රෝහලෙන් අනුරාධපුර රෝහලෙන් එලෙස සැත්කම්වලට භාජනය වූ මේ සිඟිත්තියගේ හෙට දවස කෙසේ කොහොම විසඳෙයිද කියලා තවම අපි දන්නේ නැහැ. ඒත් ඇගේ ශරීරයේ සැත්කම් කළ සලකුණු ජීවිතයේ කුමක්දෝ අසරණකමක් කියාපානවා.

“අපිට ඉන්න හිටින්න තැනක් නැති නිසා මහ පාර අද්දර ඉන්න නිසා විෂබීජ ඇතුළු වෙලා කියලයි දොස්තර මහත්තුරු කිව්වේ. අපිට අඳින්න හරිහමන් ඇඳුමක් නැහැ. මේ තියෙන ඇඳුම් ටික තමයි මහත්තයෝ හෝදා හෝදා අඳින්නේ. පුළුවන්නම් අපිට මොකක්හරි උදව්වක් කරන්න මහත්තයෝ.”

ඒ අහිංසක ඉල්ලීම හැර වෙන කුමක් නම් ඔවුන් අපෙන් ඉල්ලන්න ද? මේ ලෝකේ ජීවත්වෙන්න නිදහස අපි හැමෝටම තියෙනවා. ඒත් පෙර කළ අකුසලයකින් හෝ ජීවිතේට වන්දි ගෙවන්න සිද්ධ වුණොත්...?

ඔව් උපුල්, නිරෝෂා මේ පුංචි පවුලට ගොඩනගන්න තරම් ලොකු බලාපොරොත්තු නැහැ. ඔවුන්ට ඇත්තේ අද දවස ජීවත්වීම ගැන බලාපොරොත්තුව විතරමයි. කාත් කවුරුත් නැති ඉන්න හිටින්න තැනක් නැති, ලිපිනයක් නැති මේ අසරණ පවුල දවසක ඔබට කොහේ හෝ මාවතකදී මුණගැහෙන්න පුළුවන්. එදාට ඔවුන් දෙස බලා යන්න අමතක කරන්න එපා.

“අපිට මෙහේ ජීවත්වෙන්න අමාරුයි. අපි ආයෙත් රාජාංගණය පොළට යනවා. එහේ පුළුවන් විදිහට ජීවත් වෙනවා. රාජාංගණයේ ගොඩක් අය අපි ගැන දන්නවා. පොලීසියේ මහත්තුරු අපිට උදව් කළා. ඒ මහත්තුරු දන්නවා අපි විඳපු දුක් ගැහැට.”

අද මේ කතාවේ අවසානය අපි ඔබ ඉදිරියේ කියන්නේ වෙනදා මෙන් සරණක් වෙන්න කියන බලාපොරොත්තුවෙන්. ඒත් අද වෙනකොට උපුල්, නිරෝෂා සමඟ මේ පුංචි දියණියන් කොහේ කොහොම ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඒත් අවසන් වතාවට ඔවුන් කිව්වේ ආයෙත් රාජාංගණය පොළට යනවා කියලයි. මේ පුංචි එවුන්ගේ කුසගින්නට මොනවා වුණාද කියන්න අද අපි දන්නේ නැහැ. ඒ වගේම හෙට දවස ඔවුන්ගේ ජීවිත කොහොම වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ වගේ පවුල් ගණනාවක් අපේ රටේ අනන්තවත් ඇති. එහෙත් මේ දරු පැටවුන්ගේ ලෝකයට ආලෝකය එක්කරලා උපුල්, නිරෝෂා පවුලට ශක්තියක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්.

Thursday, May 19, 2011

සහෝදරයාණෙනි ඔබට නිවන් සුව

දිලුම් සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කර සිටිමි

Sunday, May 1, 2011

දෙපා පණ නැති මනීෂාට නැඟී සිටීමට වාරුවක් වෙමු



මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට එන්නේ එකපිට එක. එක ප්‍රශ්නයක කෙළවර දකිනකොට තවත් එකක් පටන්ගෙන.

ඒ බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ මොනදේ වුණත් උහුලන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා.

ඒ සීමාවන් පැන්නට පස්සේ අපි අසරණකමේ අගාධයටම යනවා. අද මේ කතාව දෙස හොඳින්, විවෘතව බලන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. බලන්න මේ පුංචි දියණිය සමනලියක් වගේ සුන්දරයි.

හැබැයි දෛවයේ මොකක්දෝ හේතුවකට ඇය ගැන අසුන්දර කතාවක් ඔබ හමුවේ අපට ලියන්නම වෙලා.

අපි එතනින් නවතින්න සූදානම් නැහැ. අපි මේ දියණියගේ ජීවිතය ඔබ ඉදිරියේ තියෙනවා. ඇය දැන් ඉන්නේ දෙවිදේවතාවුන් වැනි මිනිසුන්ගෙ සරණක් බලාපොරොත්තුවෙන්.

ඒ ඇයි කියන ප්‍රශ්නය ඔබ හමුවේ ඇති. තවමත් වයස අවුරුදු දහයේ පසුවන ‘මනීෂා චාමින්දි පතිරණ’ පුංචි දියණියගේ කතාව පියවරෙන් පියවර අපි ඔබ හමුවේ ලෙහා දමන්නම්. මේ සියල්ල කඳුළු කැට අතරින් වචනවලට පෙරළා ගොතා දැම්මේ මනිෂාගේ ආදරණීය අම්මා.

අද මනිෂාගේ එකම සෙවණැල්ල මේ ආදරණීය අම්මා (චින්තා නිලූ තරංගි හෙට්ටිආරච්චි) ත් අවුරුදු හතරක පුංචි මල්ලිත් විතරයි කියලා අපිට ඔබට කියන්නම වෙනවා.

”පසුගිය අවුරුද්දේ දුව ශිෂ්‍යත්වයට පෙනී ඉන්න හොඳ සූදානමකින් හිටියේ. දවසක් ස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ වම් කකුල කසනවා කියලා කියන්න ගත්තා. ඊට පස්සේ ඇවිදින්නත් ටිකක් අමාරු වුණා. දුව හොඳට ඉගෙන ගන්න දක්‍ෂයි.

ඒ වෙනකොටත් ශිෂ්‍යත්වයට සති දෙකයි තිබුණෙ. හැමදාම පන්තියේ පළමුවැනියා වුණ නිසා ස්කෝලෙන් වගේම අපිත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. අපි හිතුවේ ඇස්වහ කටවහ නිසා එහෙම වෙන්න ඇති කියලා දේවාලවලට ගිහින් බාරවුණා.

ඒත් දුවට තිබුණු අමාරුව අඩුවුණේම නැහැ. පස්සේ අපි පේරාදෙණිය ඉස්පිරිතාලේට පසුගිය ජූලි 21 දුව අරගෙන ආවා. එතැනදි පරික්‍ෂා කරලා බලලා කිව්වා දුවගේ සුසුම්නාවේ ගෙඩියක් තියෙනවා කියලා. එය ඉතාම ඉක්මනින් ඉවත් කරන්න ඕන ඒ නිසා නුවර මහා ඉස්පිරිතාලේට අරගෙන යන්න කියලා කිව්වා.”

මේ වෙනකොටත් මනිෂා තුළ තිබුණු අමාරුව දරුණු අතට හැරෙමින් තිබුණා. ඒත් මනිෂාගේ අම්මත් තාත්තත් පුළුවන් හැමදේම කරමින් ඉන්න අතරතුර පුංචි දෝණිට ඇති ලෙඩේ සහසුද්දෙන්ම දැනගන්නට හැකියාව ලැබුණා. ඒත් ඒ හෝඩුවාව අම්මා කෙනකුට, තාත්තා කෙනකුට උහුලන්න පුළුවන් තොරතුරක් නෙමෙයි.

මේ පුංචි දෝණිගේ සුසුම්නාවේ ඒ වෙනකොට ඇතිවෙලා තිබුණේ පිළිකා තත්වයක්. අවසානයේ වෛද්‍යවරුන්ගේ එකම නිගමනය වුණේ සැත්කමකින් සුසුම්නාවේ හටගත් ගෙඩිය ඉවත් කළ යුතු බවයි. ඒත් එහි එකම අවදානම මේ සැත්කමෙන් පසු මනිෂාට සදාකාලිකවම එක්තැන්වෙන්නට සිදුවීමයි.

”අපිට වෙනකරන්න දෙයක් තිබුණේ නැහැ. අපිට කිව්වා දුවගේ තත්වය අවදානම් නිසා මේ සැත්කම ඉක්මනින්ම කරන්න කියලා. ඒත් ඒ සැත්කමෙන් පසු දුවගේ ඉනෙන් පහළ පණනැතිව යන බව අපි දැනගෙන හිටියා. රෝද පුටුවක හිටියත් කමක් නැහැ මහත්තයෝ ජීවිතේට කරදරයක් වෙන්නේ නැතිව. ඊට පසු අගෝස්තු 04 දා රංජිත් වික්‍රමසිංහ වෛද්‍යතුමන් ඔපරේෂන් එක දුවට කළා. ඒත් මෙයා කුඩා නිසා ව්‍යායාම කරලා දුවගේ ස්නායු යථා තත්වයට පත්වෙන්න ගත්තොත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කිව්වා.”

ඒ වෙනුවෙන් මේ අම්මයි තාත්තයි නොවිඳිනා දුක් වින්ඳා. මනිෂාගේ පියා (පතිරණගේ ආනන්ද) රැකියාවක් විදියට කළේ වඩුවැඩ කරන එක. මොන දේ වුණත් දෑතේ ශක්තියෙන් හරිහම්බ කරපු හැමදේම මේ පවුල ශක්තිමත් කරන්න ආනන්ද වෙර වීරිය ගත්තා. ඒ නිසාම රෝද පුටුවකට වැටුණු මනිෂාගේ ජීවිතය කෙසේ හෝ ගොඩගන්න රුපියල් ලක්‍ෂ දෙකහමාරකට වැඩි මුදලක් හොයාගන්න ඔවුන්ට සිද්ධ වුණා. ඒ වෙනුවෙන් තම සන්තකේ ඇති හැමදේම විකුණා කෙසේ හෝ මේ දෝණිව සනීපකරගන්න ඔවුන් හැකි උපරිමය ගත්තා. අවසානයේදී මුදල් මත සියල්ල තීරණය වන සමාජයේ හතර අතට ණය වෙන්නත් ඔවුන්ට සිද්ධ වුණා.

”දුවට ඔපරේෂන් එක කරලා අවසානයේ දෙසැම්බර් 8 දා ගෙදර එක්කරගෙන එන්න හිටියේ. ඒත් මමයි ආනන්දයි ගොඩක් අසරණ වෙලා හිටියේ. අපි එදා වේල හොයාගෙන ජීවත් වුණේ. දුව දකින වාරයක් පාස අපි දෙන්නම මැරි මැරි ඉපදුණේ. ආනන්ද ගොඩක් දුක් වින්ඳා අපිට දුකක් නොදී ජීවත් කරන්න. ඒත් මේ ප්‍රශ්න එක්ක එයා ගොඩක් මානසිකව වැටුණා. අන්තිමේදි දෙසැම්බර් 06 දා මහත්තයෝ...”

චින්තාගේ දෑස්වලින් කඩා වැටෙන කඳුළු වැල් තවත් අවාසනාවන්ත ඉරණමක් ගැන අපිට තොරතුරු හෙළිකළා. මේ වෙනකොට ඉන්න හිටින්න තැනක් නොමැතිව එක වේලකින් කුසපුරවාගෙන ජීවත් වෙන්න වාරුගත්ත චින්තාගේ පවුලේ උදවියගේ මුදුන් මුල කාටත් හොරා සැඟව ගියා.

”එදා ආනන්ද ඉස්පිරිතාලේ හිටියේ ගොඩක් දුකෙන්. ප්‍රශ්න ගොඩක අපි හිටියේ. කාගෙන්වත් පිහිටක් තිබුණේ නැහැ. හදිසියේම ආනන්දට තද පපුවේ අමාරුවක් ආවා. අපි හිතුවේ නැහැ කවදාවත් අපිට මෙහෙම වෙයි කියලා. ඒත් එයා එදා අපි තුන්දෙනාව තනිකරලා අපෙන් සමුගෙන ගියා මහත්තයෝ.”

ඒ අසරණකම දැන් ඔබට හුඟක් හොඳීන් දැනෙනවා ඇති. අද මනිෂාගේ තාත්තා කොහේ හෝ සිට මනිෂා සනීප වෙනකම් බලා ඉන්නවා ඇති කියලා අපි හිතනවා. අවසානයේදි පුංචි දෝණිට ගෙදරට එන්න වෙන්නේ තමන්ට පණමෙන් ආදරය කළ තාත්තගේ නිසල දේහය දැක ගැනීමේ අරමුණින්. මේ ඒ කතාවේ එක් පැත්තක්.

අපි එතනින් විරාමයක් තබා නැවතත් මනිෂා වෙතට හැරෙනවා. අද මනිෂා දෝණි ඉන්නේ අකාරුණික විදිහට රෝද පුටුවකට තල්ලු වෙලා. ඒ නිසාම මේ පුංචි දෝණිගේ පිටුපසින් හටගත් තුවාලය දරුණු අතට පෙරළුණේ කිසිදු දැනීමක් ඇයට ඉනෙන් පහළ නොමැති නිසයි.

”දුවට ඉනෙන් පහළ පණ නැති නිසා ලොකු තුවාලයක් හැදිලා දැන් කොළඹ රිජ්වේ ඉස්පිරිතාලේ ඉන්නේ. දවසට බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. ඒත් මම දැන් තනිවෙලා. බුත්තල අපිට ඉන්න ඉඩම් තිබුණේ නැහැ. ලෑලි අටවාගත්ත ගෙදරක් තිබුණේ. ඒ හැමදේම දාලා මම පුතයි දුවයි අරගෙන බදුල්ලේ මහගෙදරට ආවා. මට එහේ ඉන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නත් ඉඳිආප්ප හදලා කඩවලට දාලා ජීවත් වෙන්නේ. අපිව ජීවත් කරන්න ශක්තියක් අම්මලාට නැහැ.”

මේ වෙනකොටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එකොළොස් වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ මනීෂා දියණිය අද ප්‍රතිකාර ලබනවා. නමුත් මේ සියල්ල හමුවේ අද මනිෂාගේ අම්මත් මල්ලිත් ගොඩක් අසරණ වෙලා. අඩුම තරමේ ඔවුන්ට අද කන්න බොන්න තියා ඉන්න හිටින්නවත් තැනක් නැතුව ගිහින්. බුත්තල දුටු ගැමුණු ජාතික පාසලේ සමන් සර්ගේ පස්වැනි පන්තියේ අකුරු කරනු මනීෂා විවිධ හැකියාවන් රැසක් උපතින්ම රැගෙන ආ දියණියක් බවත් අපට දැනගන්නට ලැබුණා.

”දුව ඉගෙනගන්න ගොඩක් දක්‍ෂයි. හැම සැරේම පන්තියේ පළමුවැනියා. නැටුම්වලින්, අත් අකුරුවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ හැමදේම තිබුණු දුව තමා දැන් මේ ලෙඩ ඇඳට වෙලා ඉන්නේ. හැම වෙලේම මගෙන් අහන්නේ ආයෙත් එයාට ස්කෝලේ යන්න බැරිවෙයිද කියන එකයි.”

ඔව්, මනීෂා මොනම විදිහකින් හෝ ජීවිතය ගොඩනගන්න හීන මවනවා. ඒ පුංචි හිතේ බලාපොරොත්තු ගොඩක් පොදි බැඳිලා. අප යනවිටත් ලෙඩ ඇඳේ නිසොල්මනේ බලා ඉන්න මේ දියණියගේ සිතුම් පැතුම්වලට මදක් කන්දෙන්නත් අපි හිතුවා.

”මට ආපහු ස්කෝලේ යන්න ඕන. තාත්ත මට කිව්වේ නීතිඥවරියක් වෙන්න කියලා. මම කොහොම හරි නීතිඥවරියක් වෙනවා. මෙහේ දොස්තර මාමලා නැන්දලා ගොඩක් හොඳයි. එයාලා මාව සනීප කරයි.”

ඒ අහිංසක හිතේ ප්‍රාර්ථනා ගණනාවක් තියෙන බව අපට වැටහුණා. හැකි තරම් කෙටියෙන් මේ කතාවේ සාරාංශය අපි ඔබට කිව්වා. පුළුවන් නම් හැකි අයුරින් මනීෂා දියණියගේ ජීවිතයට ශක්තියක් වෙන්න. එහෙම වුණොත් මේ අහිංසක අම්මටයි, මල්ලිටයි ජීවිතයක් තියෙයි. මනීෂා ආයෙත් ජීවිත බලාපොරොත්තු පොදි බඳිමින් සුදු ගවුමකින් සැරසී පාසල වෙත පියමං කරාවි. ඒක එහෙම වෙනවා නම් ලොකු පිනක්. එහෙම නේද?


ලිපිනය - නො. 32/5, පහළ රජ වීදිය, බදුල්ල.
දුරකතනය – 0728 400501ගිණුම් අංක – 075020054966
හැටන් නැෂනල් බැංකුව - බුත්තල ශාඛාව