Sunday, December 12, 2010

මනුෂ්‍යත්වයේ නාමයෙන් කුමුදුනීට ඇවිදින්නට වාරු දෙමු

මේ කතාව අද අපිට ඔබ හමුවේ කියන්නම වෙනවා. මේ වෙනකොටත් අන්ත අසරණව ඉන්න කුමුදුනී දෙස හොඳින් බලන්න. කාලයක් තිස්සේ එක්තැන් වෙලා ඇය විඳින්නේ පුදුමාකාර දුකක්. කෙනෙක් ජීවිතයේ මෙහෙම අසරණ වුණාම ඒ වේදනාව දැනෙන්නේ පවුලේ අයට විතරමයි. හැබැයි මේ දුක බෙදා හදා ගන්න අපිටත් පුළුවන්නම් ඒක මොනතරම් නම් පිනක් ද?

අපි හැමෝම කැමැති කාටත් කරදරයක් නැතිව පාඩුවේ ජීවත්වෙන්න. ඒ ප්‍රාර්ථනය සිතුවිල්ල ඔබත් මාත් තුළ එලෙසමයි. ඒ අපි වගේම ජීවත්වෙන්න හීන මැව් කෙනෙක් විදිහටයි කුමුදුනී අපිට මුණගැහෙන්නේ. ඒත් ඒ සියල්ල බොඳව යන්න ගත්තේ කාටත් හොරාවමයි. ජීවිතේ හැටි මෙහෙම තමයි. ඒත් අප කාටත් එය තේරුම් ගන්න කාලයක් යනවා.

සමහරු ප්‍රශ්න නැතුව නිදහසේ ජීවත් වෙනවා. තවත් සමහරු අහක යන ප්‍රශ්න දෝතින් අරන් ජීවිතයට වැලඳගෙන අනේකවිධ කරදර විඳිනවා. ඒත් තවත් අයට නොසිතු නොපැතු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මොන දේ වුණත් අපිට උපන් බිමේ ජීවත් වෙන්න නම් ජීවිතයත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා.

හුණුවිල දාරළුවේ පදිංචි කුමුදුනී හේරත් වයස අවුරුදු හතළිහක දෙදරු මවක්. අද හදවතක වේදනාවට මේ සියල්ල දෝතින් අරගෙන අපව මුණගැහෙන්නේ අන්ත අසරණ වුණ ස්වාමිපුරුෂයෙක්. පිරිමියෙක් වුණත් හදවත දැඩි නැති බව ඔබ අප කවුරුත් දන්නවා. ඒත් හිත තුළ ඇති දුක සඟවා ගන්න ගැහැනියකට වඩා පිරිමියාට පුළුවන් කියලයි හැමෝම හිතන්නේ. ඒක ඇත්තක් වෙන්න පුළුවන්.

ඒත් දිගින් දිගටම අසරණ වෙන කොට ඒ දුක කාටහරි කියලා හිත සැහැල්ලු කරගන්න ඇත්නම් ඒක මොනතරම් සැනසීමක් ද? අද එම්. එන්. ඒ. පෙරේරා අපිව හොයාගෙන එන්නේ අන්න ඒ අරමුණින්. ඔහු අපි හමුවේ දිගහළ වේදනාව මින් ඉදිරියට ඔබ ඉදිරියේ කියන්න අපි කල්පනා කළා. ඒ නිසයි අද හදවතක වේදනාවේ හෙළිදරව්ව කුමුදුනී වෙනුවෙන් අපි වෙන් කළේ.

“මම කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ කුඩා රැකියාවක්. ඒත්, අද මම විශ්‍රාමිකයි. කල් ඇතුවම මට විශ්‍රාම යන්න වුණෙත් මගේ බිරිඳ කුමුදුනී ;හ්රත් එක්තැන් වුණ නිසයි. අපිට ඉන්නේ පුතාලා දෙන්නෙක්. පොඩි පුතා ලැබිලා අවුරුදු තුනක් විතර ගියාට පස්සේ තමා කුමුදුනීගේ කකුල ඉදිමෙන්න ගත්තේ. ඒක ඒ තරම් අපි හිතුවේ නැහැ. පස්සේ අපි බෙහෙත් ගන්න ගියා.”

ම් වෙනකොටත් කුමුදුනීගේ ශරීරයට දරුණු විෂබීජයක් ඇතුළු වී ඇති වග කවුරුත් දැන හිටියේ නැහැ. ඒත් හැමෝටම හොරෙන් කුමුදුනීගේ ශරීරයේ මේ දරුණු විෂබීජය වැඩෙන්න ගත්තා. එන්න එන්නම කුමුදුනීගේ දෙපා ඉදිමෙන්න ගත් නිසාම අවසානයේ ඔවුන් තීරණය ගත්තේ කුරුණෑගල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමටයි.

අපි කුරුණෑගලට ගියා එහෙන් බෙහෙත් ගන්න. එතැනදි කළ පරීක්ෂණවලින් තමයි දැනගත්තේ කුමුදුනීගේ ශරීරයට බරවා විෂබීජය ඇතුළු වෙලා කියලා. ඊට පස්සේ අපි එහෙන් බෙහෙත් කරන්න ගත්තා. ඒත් අපිට තේරුණා බෙහෙත්වලටත් පාලනය වෙන්නේ නැහැ කියලා. 2008 අවුරුද්දේ වෙනකොට ගොඩක් බරපතළ වෙන්න ගත්තා. එතකොට මෙයාට නැගිට ගන්නවත් බැරි තරමට දරුණු වෙලයි තිබුණේ.

ඊට පස්සේ කුමුදුනීව හොඳ කරන්න අපි පුළුවන් හැම තැනකම ගියා මහත්තයෝ. බැරිම තැන නවලෝක රෝහලේ දී ශි‍්‍රයන්ත මෙන්ඩිස් වෛද්‍ය තුමන් මුණ ගැහුණා. එතැනදි පරීක්ෂා කරලා මයියා ගුණසේකර වෛද්‍ය තුමන්ට යොමු කළාට පසුවයි මන්දික විජේරත්න වෛද්‍ය තුමන් මුණ ගැහුණේ. කුමුදුනී බෙහෙත් නොකඩවාම පාවිච්චි කළා. ඒත් අඩුවක් දකින්න ලැබුණේ නැහැ.”

මේ වෙනකොටත් කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට කුමුදුනීගේ මුළු පවලම මානසිකවත් ආර්ථිකවත් ඇදගෙන වැටිලා. දරුණු විදිහට දෙපාවලට පැතිර ගිය බරවා රෝගය නිසාම කුමුදුනීට අද එකම පිහිට වී ඇත්තේ ඇඳ පමණමයි.

“අපි ගොඩක් දුක් විඳිනවා මේ හේතුවෙන් මහත්තයෝ. දැන් දොස්තර මහත්තුරු කියන්නේ සැත්කමකින් පමණයි කුමුදුනීව මේ තත්ත්වයෙන් ගලවා ගන්න පුළුවන් කියලා. ඒ සඳහා අලුතින් සමක් බද්ධ කරන්න ඕන කියනවා. මන්දික විජේරත්න වෛද්‍ය තුමා මේ සැත්කම කරන්නේ.

මෙයා විඳින දුක දැකලා වෛද්‍ය තුමා කිව්වේ සැත්කමටයි බෙහෙත්වලටයි යන මුදල පමණක් හොයාගන්න කියලයි. ඒ සඳහා රුපියල් ලක්ෂ අටක මුදලක් වැය වෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒත් අපිට ඒ වගේ මුදලක් හොයාගන්න එක හීනයක්. දැන් අපි කොහොමහරි දුක් විඳලා මේ මුදල හොයාගන්න ඕන.

අව් කාස්ටකේ කුමුදුනීගේ වෛද්‍ය වාර්තා වගේම සියලු දුක් පීඩාවන් හිතේ දරාගෙන පෙරේරා පාරක් තොටක් ගාණේ යමින් කුමුදුනීව සනීප කරන්න මුදල් හොයනවා. සැබෑ සැමියකු විදිහට පෙරේරා අපි කාට කාටත් මනුස්සකම කියා දෙනවා. තමන්ගේ බිරිය අසරණ වුණ වෙලාවට ඇයට ශක්තියක් ;වන්න සැමියාට හැකිනම් අන්න එතැනයි සැබෑ පවුලක ආදරය තියෙන්නේ.

දිනෙන් දින වන දික්කසාද වගේම අත්හැර යාම් සිදුවන මේ සමාජයේ එවැනි පිරිමින්ටත් ගැහැනුන්ටත් පෙරේරාගේ ජීවිතයම ලොකු පාඩමක්. මේ යන ගමනෙදියි කුමුදුනීගේ ආදරණීය සැමියා පත්තර මහගෙදරට අපව හොයාගෙන ගොඩ වුණේ. ඒ වගේම දවසක ඔබටත් ඔහුව මුණ ගැසේවි. මනුෂ්‍යත්වයේ නාමෙන් එදාට ඔහුට සරණක් වෙන්න. මේ ඔහු දෙපා ගෙවෙනකම් ඇවිද යන්නේ තමන්ගේ ආදරණීය බිරිය නිසයි.

“මට පුළුවන් විදිහට මේ මුදල කොහොමහරි හොයා ගන්නවා මහත්තයෝ. මම දන්නවා කුමුදුනී කොහොමහරි සනීප කරගන්න පුළුවන් කියලා. එයා දෙපයින් නැගිටලා ඇවිදිනවා බලන එකයි මගේ ලොකුම ආශාව. පුතාලා දෙන්නම ස්කෝලේ යනවා. ඒ හැම දේම කරන්න වෙලා තියෙන්නේ මට. මට මේක ලොකු බරක් නෙමෙයි. ඒත් කුමුදුනීගේ කකුල් දෙක සනීප කරගත්තොත් ළමයි දෙන්නගේ අනාගතයටත් බරක් නැහැ.

මොනවා කරන්න ද මහත්තයෝ මේ අපේ කරුමේ වෙන්න ඇති. දැනටත් කකුල්වල දියපොක්කලන් දානවා. ඒකෙන් එයා ගොඩක් දුක් විඳිනවා. දොස්තරලා කිව්වේ හොඳ කරන්න පුළුවන් කියලා. මම එයාව කොහොමහරි සනීප කර ගන්නවා. ඒ නිසයි මහත්තයලා හොයාගෙන ආවේ.”

එම්. පෙරේරාගේ ඒ ආදරණිය බලාපොරොත්තුව දැන් අපි ඔබ ඉදිරියේ තියෙනවා. රුපියල් ලක්ෂ අටක මුදලක් හොයාගත්තොත් කුමුදුනී වගේම පෙරේරාත් දරුවන් දෙදෙනාත් යහතින් ආයෙත් ජීවත් වේවි. හැකිනම් ඒ පිනට සත්කාරක වන්න. ඔබට අපට කළ හැක්කේ ඒ දේ පමණමයි. එහෙම වුණොත් අපි ඒ මේ ආත්මේ රැස් කරන ලොකු පිනක්.


ලිපිනය - හුනුවිල, දාරළුව, වයඹ

දුරකතනය - 0312299005, 0777771173

No comments: