Monday, December 20, 2010

උගුරේ පිළිකාවක් නිසා අසරණ වුණු ජගත්ට පිහිටවෙමු

ජීවිතේ ගෙනයන්න මේ මහ පොළවත් එක්ක හරි හරියට අපි හැප්පෙනවා. රැයක් දවාලක් නැතුව අව්වක් වැස්සක් නින්දක් නැතිව අපි යන්නේ අපිවම ජීවත් කරවන්න පාරක් හොයාගෙන.

ඔව්, කෙනකුට ඒක සිහිනයක් වෙන්නත් පුළුවන්. හැබැයි තවත් කෙනකුගේ ඒ හීන හැබෑ වෙන්නත් පුළුවන්. පස්කම් සැප විඳිද්දී තවත් සමහරු අන්ත අසරණව දුගීව ඉන්නෙත් ඒ නිසාමයි.

ඒක තමයි ලෝකෙ හැටි. හදවතක වේදනාව තීරුව ඔබට විවර කළ දා පටන් ජීවත්වෙන්න මිනිසුන් කරන අරගලය වගේ ම ලැබූ ජීවිතේ ගෙන යන්න ඇති තරම් මිනිසුන් දුක් විඳින විදිහ අපි දැක්කා.

එවැනි මිනිසුන්ට හැකි අයුරින් සරණක් වෙන්න අපි මේ තීරුව ඔබ වෙනුවෙන් වෙන් කළේ.

අපි හැමෝම මහන්සි වෙනවා. ඒකට රේඛාවක් ගහලා සීමාවක් වෙන් කරන්න බැහැ. ඒ මහන්සියේ ප්‍රතිඵල නිසයි අද අපි ගෙයක් දොරක් දරු මල්ලන් හදාගෙන ජීවිතය ගෙනයන්නේ. අන්න එවැනි මිනිසුන් අතර දිරිය මිනිසකු විදිහටයි අපිට ජගත් මුණ ගැහෙන්නේ.

ආරංගාව, හොරම්පැල්ල, මිනුවන්ගොඩ පදිංචි ජගත් ප්‍රසන්න කලකට ඉහත දිරියෙන් මහන්සියෙන් හරි හම්බ කරපු අපේ කාලයේ සැබෑ පියෙක්. රැකියාවක් විදිහට සති පොළක් ගාණේ යමින් වෙළෙඳාමෙහි යෙදුන ජගත් කාටත් අත නොපා ජීවත් වෙන්න මහන්සි ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ තම බිරියට වගේ ම දරු දෙදෙනාටත්, ගමේ ගොඩේ කාහටත් ශක්තියක් වෙන්න පුළුවන් වුණ එකයි.

පොළක වෙළෙඳාම් කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා ඔබ දන්නවා. උගුර ලේ රහ වෙනකම් කෑ ගසමින් තම සන්තකේ ඇති සියල්ල විකුණා එදා වේල සරිකරගන්න මේ මිනිසුන් විඳින්නේ අපමණ දුකක්. ඒ බව දන්නේ එහි වේදනාව දැනෙන්නෙත් මේ මිනිසුන්ට විතරමයි.

ජගත් ප්‍රසන්න මේ විදිහට සති පොළක් ගාණේ යමින් ජීවත් වෙන්න උගුර ලේ රහ වෙනකම් කෑගැහැව්වා. ඒත් ඒ මහන්සිය ජගත්ට නොදැනුණේ කෙසේ හෝ ඒ කෑගැසීමේ ප්‍රතිඵලය ඔහු සවස් භාගය වනවිට විඳපු නිසයි. අතට ලැබුණු සොච්චම් මුදලෙන් දරුවන්ගේ බඩ කට පිරෙන්න ඔහු බඩු මල්ලක්ම ගෙදරට ගෙන යන්නත් අමතක කළේ නැහැ.

අපි හැමෝම නැහෙන්නේ ජීවත්වෙන්න නේද? පියකු විදිහට ජගත්ගෙන් යැපෙන්න කීප දෙනෙක් ම බලා ඉන්නවා. ඒත් කාටත් හොරා අඳුරු සෙවණැල්ලක් නිසොල්මනේ ම ජගත් මතට පතිත වෙන්න ගත්තේ යාන්තමට ඔළුව උස්සන්න පටන් ගත් මොහොතෙමයි.

“මං කළේ පොළේ රස්සාව. හැම සති පොළක් ගාණේ ම මම ගියා. ඔය අතරේ තමයි මගේ උගුරේ බැරැන්ඩි ගතියක් ඇති වුණේ. මම හිතුවේ දවස තිස්සෙම කෑගහගෙන බඩු විකුණන හින්දා කියලයි. ඒත් අඩුවක් වුණේ නැති හන්දා මම බෙහෙත් ගත්තා.

ඒ බෙහෙත් වලටත් අඩු වුණේ් නැහැ. පස්සේ මම රාගම මහා ඉස්පිරිතාලෙට ගියා. එතැන දී මගේ සෙම් ගතිය වැඩි නිසා මෙහෙම වෙනවා කියලයි දැනගත්තේ.

ඔය අතරෙදි මහත්තයෝ මගේ බෙල්ලේ කුඩා ගැටිත්තක් මතුවෙන්න ගත්තා. ආපසු මම රාගමට ඇවිල්ලා ඒ ගැන දොස්තර මහත්තුරුන්ට පෙන්නුවා.

එහිදී ඒ බෙල්ලෙ ගැටිත්තෙන් කෑල්ලක් අරගෙන පරීක්ෂා කරලා බලලා කිව්වේ මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හටගෙන කියලයි. ඒක දැනගත්තාට පස්සේ මගේ ආත්මෙම කඩා වැටුණා කියලයි මට හිතුණේ.

රාගම රෝහලෙන් ලැබුණු නිර්දේශයක් සමඟ ජගත් අවසානයේ නවතින්නේ මහරගම පිළිකා රෝහලෙයි. ඉන් පස්සේ මෙතුවක් කල් මහන්සියෙන් ගොඩනඟාගත් සියල්ලට සමුදෙන්න ජගත්ට සිද්ධ වුණා.

“මට මාසයක් විතර පිළිකා රෝහලේ ඉන්න වුණා. ඉන්ද්‍රාණි අමරසේන වෛද්‍යතුමිය තමයි මාව පරීක්ෂා කළේ. අවසානයේදී මගේ බෙල්ල වටේටම මේ සැත්කම කරලා කරන්ට් එක ඇල්ලුවා. එතැනින් පස්සේ කිසිම දෙයක් මට කරගන්න බැරිව ගියා මහත්තයෝ.”

කාටත් අතනොපා තමන්ගේ මහන්සියෙන් ජීවත් වුණ ජගත්ට මෙතුවක් කාලයක් සියල්ල හැරදා මුනිවත රකින්නට සිද්ධ වුණා. මින් පසු ඔහුට කතා බහ කරන්න පවා නොහැකි වුණා. කාටත් කරදරයක් නොවී නිදහසේ තම පවුල ජීවත් කරවූ ජගත්ට ඉන්පසු හැමෝගේම සවිය ශක්තිය ලබාගන්නට සිද්ධ වුණා.

“මට කතා කරන්න බැරිව මාස අටක් විතර හිටියා. ඒ අතරේ පුතාලා මගෙන් අහන දේවල්වලට මට උත්තර දීගන්න බැරිව මගේ ඇස්වලට කඳුළු පිරුණු වාර අනන්තයි. මහත්තයෝ මම කුරා කූඹියෙකුටවත් වරදක් කළ කෙනෙක් නෙවෙයි.

පස්සේ හෙමිහිට කටහඬ පිටවෙන්න ගත්තා. මම ගොඩක් අසරණ වුණේ මේ ලෙඩේට බෙහෙත් ගන්න ලොකු මුදලක් හොයාගන්න ඕන වුණ නිසයි. අයඩින් අඩංගු බෙහෙත් ගන්න ලක්ෂ එක හමාරකට වැඩිය මට හොයාගන්න ඕන වුණා. මේ වෙනකොට මම මහන්සියෙන් හොයාගෙන තිබුණ හැමදේම මේ පිළිකාව වෙනුවෙන් කැප කරලා අවසානයි.

ඔබ අපි වගේ ම ජීවත් වෙන්න ජගත් නොගත් මහන්සියක් නැහැ. ඒ වගේ ම සිය බිරියත් දරු දෙදෙනාත් ජීවත් කරන්න ඔවුන්ගේ අනාගතයට සවියක් වෙන්න ජගත් ජීවිතෙත් එක්කම පොර බැඳුවා.

ඒත් ඒ ඔහු සොයාගත් සියල්ල අද ඔහුගේ ම ජීවිතේ ජීවත් කරන්න කැප කරන්න සිද්ධ වෙලා. මේ වෙනකොට අන්ත අසරණ තත්ත්වයකට ජගත්ගේ පවුලම ඇදගෙන වැටිලා.

“මට මගේ බෙල්ල කොහාටවත් හරවන්න බැහැ දැන්. බෙහෙත් වලටම සල්ලි හොයාගන්න අපි සන්තකේ තිබුණු හැමදේම විකුණුවා මහත්තයෝ. දැන් තියෙන්නේ මේ බාගෙට හදාගත්ත ගේ පොඩ්ඩයි. මේ මිදුල කෑල්ලයි විතරයි.

අද මට කිසිම විදිහකින් මහන්සි වෙන්න එපා කියලයි. දොස්තර මහත්තුරු කියන්නේ. මගේ බිරියට තමයි දැන් සියලු දේම කරන්න වෙලා තියෙන්නේ. එයා අපිව ජීවත් කරන්න දැන් මුරුක්කු හදලා කඩවලට දානවා.

ඒත් එයාගේ දකුණු අත මේ වෙනකොටත් ඉඳිමිලා හිරිවැටිලා තියෙන්නේ. ඒක පරීක්ෂා කළ දොස්තර මහත්තුරු කියන්නේ වළලුකර ළඟින් සැත්කමක් කරන්න ඕන කියලයි.

මුල ඉඳන් ම දුක් විඳපු නිසා මට ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා මහත්තයෝ.

ඒත් මට දුක මගේ බිරිය දරුවෝ දෙන්නයි ගැන. දරුවන් ස්කෝලේ යවලා ලොකු මහත් කරන්න ලොකු හීනයක් මා ළ¼ඟ තිබුණේ. ඒත් අද වෙනකොට මගේ බෙහෙත්වලට ලොකු මුදලක් හොයාගන්න ඕන. ඒක එහෙම හොයාගන්න බැරිව දැන් ගොඩක් අසරණ වෙලා අපි ඉන්නේ. ඒකයි මහත්තයලාගේ පත්තරේට මේක කියන්න හිතුවේ.”

ජගත් මහන්සියෙන් උපයපු සියලු දේ තමන්ගේ දරුණු පිළිකා තත්ත්වයට කැප කරන්න සිද්ධ වෙලා. ඒ නිසා ම අද ඔහුට බෙහෙතක් හේතක් කරගන්න බැරි තරමට ඔවුන් අසරණ වෙලා.

එහෙත් මේ අසරණකමෙන් මේ ආදරණීය පවුල වගේ ම ජගත්ව පිළිකා මාරයාගෙන් බේරාගත හැක්කේ පින් සිත් ඇති දයාබර ඔබේ සවි ශක්තියෙන් විතරමයි. ඒ නිසා හැකිනම් ජගත්ට සරණක් වෙන්න. එහෙම වුණොත් ජගත් ආපසු මහන්සියෙන් මේ මුළු පවුලම ගොඩදමාවි. ඒක එහෙම වෙනවා නම් ඒකම ලොකු පිනක් නේද?

ලිපිනය - නො. 515/1, ආරංගාව, හොරම්පල්ල, මිනුවන්ගොඩ.

දුරකථනය - 0776 - 135064

No comments: