Monday, September 20, 2010

පුංචි චතුරිගේ දුක්බර කතාව

මිනිසුන් වන අපි හැමෝටම ජීවිතේ බලාපොරොත්තු තියෙනවා. ඒ වගේ ම ඒ බලාපොරොත්තු ඉටු කරගන්න හැමෝම සිහින දකිනවා. ඒත් කීයෙන් කීය ද ඒ සිහින සැබැවෙන්නේ. මොනදේ වුණත් මේ ලෝකේ ජීවිතයක් ලබපු අපට කවදා හෝ මිහිපිටින් යන්න වෙනකම් ජීවත්වෙන්න සිද්ධ වෙනවා. ඒක ඔබටත් මටත් අපා දෙපා සිවුපා කාටත් උරුම දෙයක්. ඒක කවදා කාට කොහොම වෙයිද කියන එක අපි දන්නේ නැහැ.

ඒත් මේ ජීවිත කාලයේ දී අපි හැමෝටම එකා මෙන් ම ඉන්න පුළුවන් නම් අද ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් නැහැ. මොකද අපි තනිවෙලා නැති නිසා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැනේ. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විෂමාකාරයි කියනවා වගේ නොහිතපු දේවල්වලටත් ජීවත් වෙද්දී මුහුණ පාන්න අපට සිද්ධ වෙනවා.

අද අපි නිමල් ගුණරත්නත් කේමා රත්නායකත් මේ ආදරණීය අම්මයි තාත්තයි දකින්නෙත් අන්න ඒ විදිහට.



‘හදවතක වේදනාවේ’ හෙළිදරව්වට පසුගිය දිනෙක ලැබුණ ලිපියකට මෙවර අපි ඉඩකඩ වෙන් කළා. ඒ නිසා ම කැලණිය ගෝනවල පදිංචි මේ ආදරණීය පවුල හොයාගෙන පසුගිය දවසක අපි ගියේ සත්තකින් ම මෙහි ඇත්ත නැත්ත සොයා යාමේ අරමුණින්. ඔව් මෙතැන් සිට ‘හදවතක වේදනාව‘ ට ලැබුණු ඒ හෝඩුවාව අපි ඔබ හමුවේ තියන්නම්. ඉන්පසු ඔබට තීරණයකට එළැඹෙන්න, මේ ජීවිතවලට සරණක් වෙන්න පුළුවන්ද කියලා.

නිමල් ගුණරත්න ගෙත් කේමා රත්නායකගෙත් බාලම දියණියට මේ මාසේ විසි වනදාට හරියටම අවුරුදු 14 සම්පූර්ණයි. ඒ කියන්නේ මේ දෝණි ඉපදුණේ 1996 සැප්තැම්බර් 20 දා. ඉන්පසු හැමෝම දෝණිට නම දැම්මේ චතුරි නිල්මිණි කියලා. කාගේත් ආදරය මැද කෙළිදෙලෙන් දුව පැන ගිය චතුරි අද ඉන්නේ ජීවිතේ තීරණාත්මක මොහොතක කියලා අපි ඔබට කියනවා. මේ ඡායාරූප බලන්න. සැබැවින් ම ඇය රුවින් පිරිපුන් දියණියක්. ඒත්...?

අපි ඒ ප්‍රශ්නාර්ථයට විසඳුමක් ලබාදිය යුතුම වෙනවා.

“මගේ දුව ඉගෙන ගත්තේ මාලඹේ රාහුල විද්‍යාලයේ අට වසරේ. එයා ඛ්රිම බුද්ධිමත් දරුවෙක්. පොඩි කාලේ ඉඳලම එහෙමයි. ඒත් ගිය අවුරුද්දේ මැයි මාසේ දී විතර දුව කියන්න ගත්තා එයාට ලියන්න ටිකක් අමාරුයි අත වෙව්ලනවා කියලා. ඒ වෙන කොට උරහිස ප්‍රදේශයෙන් ටිකක් ඉදිමිලා තිබුණේ. ඒත් අපි ඒ වෙනස දැකපු නිසා දුව කොළඹ මහ රෝහලට එක් කරගෙන ගියා. එතනදී දුව පරීක්ෂා කළේ බානගල දොස්තර මහත්තයා. එතැන දී දුවව පරීක්ෂා කරලා බලලා එක්ස් රේ පරීක්ෂණ කිහිපයක් කළා. එහිදී තමයි දැනගත්තේ දුවගේ කොඳු ඇට පෙළ ඇදයි කියලා. ඊට පස්සේ වසන්ත පෙරේරා වෛද්‍යතුමන්ට යොමු කළා.”

මේ වෙනකොටත් උපතින් ම කිසිදු ආබාධයක් නොතිබුණු චතුරි දියණියට හිටිගමන් ම සියලු දේ අත්හැර දමන්න සිදුවුණේ එන්න එන්නම මේ ආබාධය දරුණු අතට හැරෙන නිසයි. මේ වෙනකොටත් ඇගේ කොඳු ඇට පෙළ ඇදවී ඒ ප්‍රදේශය ඉඳිමී ඇති ආකාරය අපිට ඇස් පනා පිටම දකින්න ලැබුණා. මේ නිසාම තාවකාලිකව හෝ පාසල් දිවියට ආයුබෝවන් කියන්නට ඇයට සිදුවුණේ තව තවත් මහන්සි වුවහොත් ජීවිත අවදානමක් ගන්නට සිදුවේ යැයි වෛද්‍යවරුන්ගෙන් ලැබුණු උපදෙස් නිසයි.

“මෙහෙම දෙයක් දුවට වෙලා තියෙන්නේ එයාගේ ඇඟ ඇතුළෙන් ම හැදෙන හෝමෝන වැඩිවීමක් නිසා කියලා කිව්වා. ඒ නිසා පුළුවන් ඉක්මනින් සැත්කමක් කරන්න කියලයි දැන් දොස්තර මහත්වරු කියන්නේ. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් හොයා ගන්න කියලා කියනවා.”

නිමල් මේ වෙනකොටත් රැකියාවක් විදිහට කරන්නේ ගරාජ් එකක ඉලෙක්ට්‍රිකල් වැඩ කරන එක. මේ නිසා මේ දුවගෙන් පුතාගෙන් සියලු වැඩකටයුතු කරන්නේ කේමා අතින්. අපි චතුරි දියණියගේ ආබාධය ගැන ඔබට කියන කොටම චතුරිගේ ආදරණීය අයියා ගැනත් ඔබට යමක් කිව යුතුයි. අවුරුදු 18 ක් වයසැති චතුරිගේ අයියා උපතින් ම ආබාධිතයෙක්. මානසික ව්‍යාකූ®ලතාවයකින් යුතු මේ අයියා ඔබට දකින්නට අපට අවස්ථාව ලබාදෙන්නට හැකියාව නොලැබුණේ ඡායාරූපයකට පෙනී ඉන්නට තරම් ශක්තියක් ඔහුට නොතිබුණු නිසයි.

කෙසේ වෙතත් මේ සියලු බාධක ජයගෙන අද නිමල් උත්සාහ කරන්නේ මේ ආදරණීය දියණියගේ ජීවිතයට බලාපොරොත්තුවක් එකතු කරන්නයි.

“මේ ඔපරේෂන් එක පුළුවන් තරම් ඉක්මනට කරන්න කියලා දැන් වෛද්‍යවරු කියනවා. මාසෙකට සෙන්ටිමීටර් එකක ප්‍රමාණයක් දුවගේ කොඳු ඇට පෙළ ඇද වෙමින් තියෙන්නේ. දැන් දුවට රෑට හුස්ම ගන්න අමාරුයි. පපුව හිරවෙනවා කියලා කියනවා. එහෙම කියන කොට අපි කොහොමද මේවා අහගෙන ඉන්නේ. අද මගේ දරුවන් දෙන්නම ලෙඩ වෙලා. අපි ගොඩක් අසරණයි.

අම්මා කෙනෙකුටත් වඩා තාත්තා කෙනෙක්ගේ ඇස්වලින් කඳුළු උනන්නේ ගොඩක් සංවේදී වුණාම. ඒ වගේ ම අසරණ වුණා ම. කොයි කවුරුත් කියන්නේ තාත්තා කෙනෙක් ඕනෑම දුකක් හංගාගෙන ඉන්න කෙනෙක් කියලා. ඒත් ඒකේ සීමාවක් තියෙනවා. තම දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින මේ අම්මයි තාත්තයි මාලබේ ගෙවල් දොරවල් අතහැර දාලා දැන් ඉන්නේ කැලණියේ තියෙන මහගෙදර.

“මෙහේ ඉඳගෙන අපිට බේත් හේත් කරන්න ලේසියි. අපිට ජනාධිපති අරමුදලින් ලක්ෂ එක හමාරක් දෙන්නම් කියලා කිව්වා. ඉතුරු මුදල හොයන්න ඕන නිසයි අපි මහත්තයාලගේ පත්තරේට ලියමු කියලා හිතුවේ. දොස්තර මහත්තුරු කියන්නේ මුදල් ලෑස්ති කරගෙන ඇවිත් මුණ ගැහෙන්න කියලයි. දුව දැනට අවුරුද්දක් විතර වෙනවා ස්කෝලේ යන්නේ නැතුව. එයාට මහන්සි කරවන්න එපා කියලා කිව්වා. එකතැන හිටගෙන ඉඳගෙන ඉන්න අමාරුයි දැන් දුවට. අනේ කොහොම හරි මට මගේ දුව සනීප කරලා දෙන්න.”

ඒ පින්බර ඉල්ලීමට බලාපොරොත්තු එක්කරන්න හැක්කේ දයාබර ඔබට විතරමයි.එහෙම වුණොත් අඳුරේ ඉන්න මේ පුංචි දියණියගේ ජීව්තයට හෙට ආලෝකය වැටෙන්න ගනීවි.

“දුව ආසද ආපහු ස්කෝලේ යන්න” අපි චතුරි දෝණිගෙන් ඇහැව්වා.

“ඔව් ගොඩක් ආසයි. මගේ යාළුවෝ මොනවා කරනවද දන්නේ නැහැ. එයාලට දැන් මාව අමතක ඇති. මට හොඳට කවි ලියන්න චිත්‍ර අඳින්න පුළුවන්. මේ බලන්න.”

අපූරුවට අත් අකුරින් ලියැවුණ පොත් පිංචක් අපිට පෙන්නුවා. ඇය අමුණන අකුරු වැලකින් අපි හිතුවා ඇගේ ජීවිතය ගැන ඔබට කියන්න.

“පාට පාට මල් පිපිලා අපේ ගෙවත්තේ

බුදුන් පුදන්නට යනවා ඒ මල් මැද්දේ...


සත්තකින් ම චතුරිගේ දෑතින් ගෙත්තම් වුණ පදවැල් වලට අද විරාමයක් ලැබිලා. ඒ චතුරි තවම අසනීපෙන් නිසා. දයාබර පින් සිත් ඇති ඔබේ සරණ මේ අසරණ දෝණි වෙනුවෙන් යොමුවුණොත් හෙට දවසේ මේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුවලට ආයෙත් පණ ඒවි.

එහෙම වුණොත් චතුරි ආයෙත් පාසල් යන්න පටන් ගනීවි. එදාට ඇය ඔබට දහස් වාරයක් පින් දේවි. ඒ ඇයට ඔබ ජීවිතය දුන් නිසා. එහෙම වුණොත් ඒක අපි කරන ලොකු පිනක් නේද?

ලිපිනය - 535, ගල්ලේදණ්ඩ පාර, ගෝනවල, කැලණිය.
දුරකතනය - 0112919530

No comments: