Sunday, September 5, 2010

හය හතර නොතේරෙන අකිඳු පුතාට මෙහෙම වුණේ ඇයි

උපන්දා සිට මිනිස්සුන්ට ප්‍රශ්න එල්ල වෙන්නේ කිරලා මැනලා හොයලා බලලා නම් නෙමෙයි. ඒක ඔබටත් මටත් කාටත් පොදුයි. හැමදේම තිබුණු පලියට සමහරු හිතන්නේ අපි හරි වාසනාවන්තයි කියලා.

ඒ වගේම කෙළවරක් නැති ප්‍රශ්න එතකොට අපි හරි අවාසනාවන්තයි කියලත් සමහරු හිතනවා. ඒත් ලැබුණු ජීවිතේ මේක නම් එන ඕනෑම දේකට මුහුණදීලා සියල්ල ආශිර්වාදයක් කරගත්ත මිනිස්සු ඒ අතර ඉන්න වග අමතක කරන්න එපා. අපි අශෝකව දාන්නේ අන්න ඒ මිනිසුන් අතරට. ඒ ඇයි කියන එක තීරණය කරන්න මෙතැනින් පස්සේ අපි ඔබට බාර කරනවා.

“මම උපන්නේ දකුණු පළාතේ. මාතර රාහුල විද්‍යාලයෙයි මම ඉගෙන ගත්තේ. පුංචි කාලේ ඉඳලම මම ගොඩක් දුක් වින්දා. මගේ තාත්තා විදුහල්පති කෙනෙක් විදිහට රස්සාව කළත් අවුරුදු 29 ක්ම එක්තැන් වෙලා ගොඩක් දුක් විඳලා නැතිවුණේ. තාත්තගේ හැමදේම කරන්න වුණේ මට. අපිට තිබුණු හැමදේම විකුණන්න වුණේ තාත්ත සනීප කරන්න. ඒත් ඒ වාසනාව අපිට නැතිවුණා. ඊට පස්සේ අම්මා අමාශයේ පිළිකාවක් හැදිලා ගොඩක් දුක් විඳලා අම්මත් අපිට අහිමි වුණා. අපේ පවුලේ හතරදෙනෙක්. පවුලේ වැඩිමලා විදිහට ඒ බර කරට ගන්න වුණේ මට. ඒත් පුළුවන් විදිහට අපි කොහොමහරි ජීවත්වුණා.”

අශෝක වයසට වඩා ජීවිතයේ බොහෝ බර කරට අරන්. ඒත් ඔහු ඒ ජීවිතයෙන් පලායන්න කිසි විටෙකත් උත්සාහ කළේ නැහැ. සමහරු නම් මෙහෙම ප්‍රශ්න ගලාගෙන එනකොට කාටත් හොරා ජීවිතයෙනුත් පලා යනවා. ඒත් අශෝක එන්න එන්නම ශක්තිමත් වුණා මිසක එන ප්‍රශ්නවලින් පැනලා ගියේ නැහැ. ඒ නිසාම 1993 සැප්තැම්බර් මාසේ 9 දා අශෝක ගේ ජීවිතයට එළියක් වැටෙන්න ගත්තේ දයාබර සහකාරියක් අශෝකට එක්වුණ නිසයි.

“මම ගොඩක් ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්. මම මනෝ විද්‍යාවට ගොඩක් ඇලුම් කළා. ඒ වගේම භාවනා කරන්න ගත්තා. අපි දෙන්නගේ එකම ප්‍රාර්ථනය වුණේ නිවුන් දරුවන් අපිට ලබා දෙන්න කියලයි. ඒ ප්‍රාර්ථනය වෙනුවෙන් අපි බෝධි පූජා තිබ්බා. කරන්න පුළුවන් හැමදේම අපි කළා.”

කොහොම වෙතත් අශෝකගෙත් බිරියගෙත් ඒ ප්‍රාර්ථනය ඉටුවුණේ විවාහයෙන් වසර දහයකට පස්සේ. 2003 දෙසැම්බර් මාසේ නමවැනිදා කාගෙත් සිත්වලට බලාපොරොත්තු ඉටුකරමින් අශෝකගේ බිරියට තුන් නිවුන් දරුවන් ලැබුණේ ඒ ප්‍රාර්ථනා මල්ඵල දරමින්. ඒත් අපි මුලිනුත් කිව්වා මොන වගේ ප්‍රශ්න ජීවිතේට කොයි වෙලේ එල්ල වෙයිද දන්නෙ නැහැ කියලා. නොසිතූ අයුරින් ප්‍රසූත සැත්කමේදී අශෝකගේ එක් බලාපොරොත්තුවක් මිලින වී ගියා.

“අපිට පුතාලා තුන්දෙනෙක් ලැබුණේ. ඒත් ඒ සැත්කමේදී එක පුතෙක් නැතිවුණා. අනෙක් පුතාලා දෙන්නගෙන් එක පුතෙක්ගේ බර හොඳටම අඩුයි කියලා කිව්වා. ඊට පස්සේ පුතාව වීදුරු පෙට්ටියකට දාන්න ඕන කියලා දොස්තර මහත්තුරු කිව්වා.”

මින්පසු හෙළිවන සියල්ල ඔබ අප කාටත් ජීවිතේට හොඳ පාඩමක් කියන එක අපි කියන්න ඕන. සමහර දේවල් නොසිතු විදිහට අත්වැරැදීම් වෙන්න පුළුවන්. හැබැයි ඒ අත්වැරැදීම් කෙනකුගේ ජීවිතයට සදාකාලිකව බලපෑමක් කරයි නම් ඒ ගැන අපිට දෙපාරක් හිතන්නම වෙනවා. අද අපි ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව වෙන් කරන්නේ වීදුරු පෙට්ටියට වැටුණු අශෝකගේ පුංචි පුතා අකිඳු බී ගමගේ වෙනුවෙන්. අද වෙනකොට මේ අකිඳු පුතාට වයස අවුරුදු 7 ක්.

“පුතා එදා වීදුරු පෙට්ටියට දැම්මේ ගොඩක් දුර්වලයි කියලා. ඒත් ඊට කලින් ඒ පෙට්ටියේ ඉඳලා තියෙන්නේ මොළේ උණ හැදුණ දරුවෙක්. පුතාට උණ හැදුණා. ඊට පස්සේ පුතාට දුන්න ඉන්ජෙක්ෂන්වල මාත්‍රාව වැඩිවෙලා පුතාගේ ස්නායු අඩපණ වෙන්න ගත්තා.

දොස්තර මහත්තුරු අපෙන් ඇහැව්වේ එක බබෙක් හිටියම ඇති නේද කියලා. එහෙම දෙයක් අපිට අහන්න පුළුවන්ද මහත්තයෝ. අනෙක මෙහෙම දෙයක් වුණේ අපේ වරදින් ද? පුතා එන්න එන්ම දුර්වල වුණා. ඒත් මම පන්සල් ගාණේ ගිහින් බෝධි පූජා තියලා ප්‍රාර්ථනා කළේ කොහොමහරි පුතා බේරලා දෙන්න කියලා.”

මෙහි හරි වැරැද්ද කාගේද කියන එක දැන් හොයා බලන එක කිසිම තේරුමක් නැහැ. ඒ මේ වෙන කොටත් වෙන්න තියෙන දේ සිදුවෙලා තියෙන නිසා. අශෝක උපන්දා සිට දුක් වින්දා වගේම තව තවත් පඹ ගාලක පැටළුණේ තමන්ගේ ආදරණීය පුංචි පුතා නිසා.

“මගේ හිතේ විශ්වාසයක් තිබුණා පුතා හොඳ වෙනවාමයි කියලා. ඇත්තටම පුතාව අපිට ගෙදර එක්කරගෙන එන්න පුළුවන් වුණා.”

මේ අකිඳු මල්ලිත් අනුග අයියත් ඉන් පස්සේ සුවසේ වැඩෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොටත් අකිඳු පුතාගේ ස්නායු අඩපණ වීම නිසාම කන් දෙකේම ඇසීම නැවතෙන්න පටන් අරන් තිබුණා.

“මුලින් අපිට කිව්වා පුතාට අතුරු ආබාධ එයි කියලා. මේක පුතා උපතින් ගෙනාව දෙයක් නෙමෙයි. කාගේ හෝ අත්වැරැදීමකින් ඒ දේ පුතාට වුණේ. මට තේරුණා පුතාගේ යම් යම් දුර්වලතා තියෙනවා කියලා. එයාට අපි මොනතරම් කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. පස්සේ අපි පුතාව ළමා රෝහලට අරගෙන ගියාමයි දැනගත්තේ පුතාගේ ශ්‍රවණ ස්නායු මැරිලා කියලා. ඒකට ස්නායු බද්ධයක් කරන්න ඕන ඒ සැත්කමට ලක්ෂ 30 ක් හොයාගන්න කියලා කිව්වේ.

ඒ වෙනකොටත් අශෝක ප්‍රශ්න ගණනාවකට මුහුණ පාලා. ඒත් තම ආදරණීය පුතාගේ ජීවිතයට ආලෝකයක් වෙන්න ඔහු නොවිඳිනා දුක් වින්දා.

“මට ඕනකම තිබුණේ පුතාව කොහොමහරි හොඳ කරගන්න. ඒ නිසාම පුළුවන් තරම් මහමඟ ඇවිදලා දුක්විඳලා ඒ මුදල හොයලා සැත්කම කරන්න ලෑස්තිවුණා. ඒත් අපේ අවාසනාවට පුතාට ඒ සැත්කම කළේ වැරැදි විදිහට. දකුණු කනට සිදු කරන්න ඕන සැත්කම කළේ වම් කනට. අපි මේවා කාට කියන්න ද? මේ අපේ කරුමේ.”

මේ සියල්ලත් එක්ක අද අකිඳු පුතා බලා ඉන්නේ හෙට දවස ඔහුට පැහැබර වෙනකම්. ඒත් මේ වෙනකොටත් දෛවයේ විවිධ කෙනෙහෙළිකම්වලට මේ පුංචි පුතා මුහුණපාලා. අද මේ පියා තම පුංචි පුතා වෙනුවෙන් ඔබෙන් සරණක් බලාපොරොත්තු වෙන්නේ වෙන කළ හැක්කක් නොමැති නිසාවෙන්.

පෙර කළ සැත්කමෙන් පසු එම උපකරණයේ ඉලෙක්ට්‍රෝඩ 10 ක් හිටිගමන්ම ක්‍රියා විරහිත වෙලා. ඒ නිසාම නැවත වතාවක් ශ්‍රවණ ස්නායු විනාශ වෙන්න පටන් අරන්. හැකි ඉක්මනින් සැත්කමක් කරන්න කියලයි වෛද්‍යවරුන් නැවතත් අශෝකට කියන්නේ. ඒත් ඒ වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 36 ක මුදලක් සොයාගත යුතුම වෙනවා.

”දැන් අපි හෙම්බත් වෙලා ඉන්නෙ. මම දන්නා කියන කාලේ ඉඳලා ගොඩක් දුක් වින්දා. අදටත් එහෙමයි. ඒත් මම පුතාව කොහොමහරි හොඳ කරගන්න ඕන. ජනාධිපති අරමුදලින් ලක්ෂ තුනක් දෙනවා කිව්වා.

ඒ අතරම පුතාට ඒ මුදල හොයන්න අපි විවිධ දේවල් කරනවා. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බුදුන්ගේ පහස ලැබු ස්ථාන 376 ක වීඩියෝ දර්ශන ඇතුළත් සීඩී තැටියක් අපිට ලබා දුන්නා ඒ අලෙවියෙන් පුතාගේ සැත්කමට මුදල් හොයන්න කියලා.”

සියල්ල අපි හැකි අයුරින් කෙටියෙන් ඔබට කිව්වත් මේ වැරැදි වලට කවුරුන් වගකිව යුතු ද කියන එක ඔබම තීරණය කරන්න. ඒත් හය හතරක් නොදත් මේ පුංචි අකිඳු පුතා හෙට දවස ගැන ගොඩක් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒ වගේම මේ අම්මයි අයියයි තාත්තයි ඒ බලාපොරොත්තුවල කොටස්කරුවන්. ඒ නිසාම හැකිනම් අකිඳු පුතාගේ ජීවිතයට සරණක් වෙන්න ඒක ඔබ ආත්ම ගාණකට රැස්කරගන්නා ලොකු පිනක් වෙයි.

ලිපිනය - 203/7, කහටගහලන්ද පාර,
රඹුටන්ගස් හන්දිය, මළගල, පාදුක්ක.
දුරකතනය - 0729260886, 0113-154190

No comments: