Monday, August 16, 2010

කාටත් අත නොපා ජීවත්වී රෝද පුටුවට වැටුණු දයාරත්න

මේ ඉන්නේ තාත්තයි දුවයි. මේ ඡායාරූප බලන ඔබට ගැටලුවක් නොවෙන්නයි අපි මේ බව මුලින් ම කිව්වේ. ආර්.ඩි. දයාරත්න මේ තාත්තට වයස අවුරුදු 58 ක්. ඒ අසල ම ඉන්න බාලම දියණියට අවුරුදු 27 යි. රාගම වල්පොල උග්ගස්හේන පදිංචි මේ පුංචි පවුලේ සාමාජිකයින් හතර දෙනෙක්. සාරාංශයයි ඒ.

පසුගිය දිනෙක ‘හදවතක වේදනා’ තීරුවට ලැබුණු අඳෙීනාත්මක ලිපියක් වෙත හැමදාමත් මෙන් ම අපේ අවධානය යොමු වුණා. ඒ නිසා ම පසුගිය දිනෙක ආර්.ඩී. දයාරත්න හොයාගෙන අපි රාගමට ආවා. අද ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව වෙන්වන්නේ මේ ආදරණීය පවුලේ කතාව වෙනුවෙන්.

ඔබ මේ දකින දයාරත්න අද රෝද පුටුවකට වැටුණත් මීට ඉහත කාටත් අත නොපා ජීවත් වෙන්න වෙර වීරිය ගත්ත සුන්දර මනුෂ්‍යයෙක්. ඒ නිසා ම 1970 ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාවක් කරන්න දයාරත්නට වාසනාව උදා වෙනවා.

“මම ඒ කාලේ ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අතේ මිටේ කීයක් හරි තිබුණ නිසා 1979 අවුරුද්දේ මම සමදරා මගේ බිරිඳ විවාහ කරගත්තා. ඒ කාලේ අපිට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒත් නොසිතපු විදිහට 1983 දී ඒ රස්සාව මට නැතිවෙලා ගියා. ඒකට හේතුව වුණේ දෙපාර්තමේන්තුව හිටි හැටියෙම වහලා දමපු එක. ඔය වෙනකොට අපි දෙන්නට දුවලා දෙන්නෙක් හිටියා. ඊට පස්සෙයි මම පෞද්ගලික වාහනවල රියැදුරෙක් විදිහට වැඩ කළේ.”

ඔව් දයාරත්නව බොහෝ දෙනෙක් දන්නේ හඳුනන්නේ ත්‍රීවීල් දයාරත්න විදිහට. ඉන්පසු කෙසේ හෝ මේ පුංචි පවුල ගොඩගැනීමේ වගකීම තාත්තා කෙනෙක් විදිහට ඉටු කරන්න ඔහු නොවිඳපු දුකක් නැති තරම්. ඒකට තවත් හේතුවකුත් මේ පුංචි පවුලෙන් ම ගොඩනැඟී තිබුණා.

ඒ දයාරත්නගෙත් සමදරාගෙත් බාලම දියණිය උපතින් ම ආබාධයකින් පෙළුණු නිසයි. මේ සියල්ලත් හිතේ රඳවාගෙන ජීවිතයත් එක්ක ගැටුණු මේ තාත්තට කාත් කවුරුත් නොසිතූ විදිහට දෑස් පෙනීම නැතිවෙලා යන්න ගත්තා.

“ඊට පස්සේ තමා අපි ගොඩක් අසරණ වුණේ. මට මගේ වැඩකටයුතු කරගන්න පවා නොහැකි තැනට පත් වුණා. ඒ වෙනකොටත් මගේ දියවැඩියා තත්ත්වය උපරිම වැඩිවෙලා. ලෙඩක් දුකක් හැඳුනත් ඒ තරම් අපි ගාණක් ගත්තේ නැහැ. ඒකෙන් වුණේ මගේ ලෙඩේ බරපතළ වුණ එක. ඇස් සුදෙන් වැහිලා ගියා. ඒත් ටෙලිකොම් එකේ මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න අපේ අසරණකම දැකලා කරපු උදව්වෙන් එක ඇහැකට කාචයක් දමා ගත්තා.”

මේ හේතුව නිසා ඉන්පසු රියැදුරකු විදිහට කටයුතු කිරීමේ වාසනාව දයාරත්නගෙන් ඈතට පලා ගියා. ඒත් මොන බාධක ජීවිතයට එල්ල වුණත් ඉන් නොසැලුන දයාරත්න හැකි පමණින් මහමඟ වෙළෙඳාම් කරන්න පටන් ගත්තේ මේ පවුල තවදුරටත් ආගාධයට ඇද දමන්නට නොහැකි නිසයි.

“මම එහෙම හරි උත්සාහ කළේ එදා වේල කාලා හරි ජීවත්වෙනවා කියලා හිතලා. ඒත් ඔය අතරෙදියි මගේ කකුලේ තුවාලයක් හැදුණේ. පස්සේ මම රාගම මහ ඉස්පිරිතාලේ ට ගියා. ඒත් ඒ වෙනකොටත් මගේ තිබුණ දියවැඩියා රෝගය නිසා තුවාලය ගොඩක් ඔඩු දුවලා. ඊට පස්සේ දොස්තර මහත්තුරු කිව්වේ කකුල කපලා අයින් කරන්න ඕන කියලා.”

දයාරත්නගේ තිබුණ රෝගී තත්ත්වයට ඉන්පසු පිළියම වුණේ ඔහුගේ වම්පාදය වළලුකර ළඟින් කපා ඉවත් කිරීමයි. මේ නිසා ම කබලෙන් ළිපට වැටුණු දයාරත්නගේ පවුලම අන්ත අසරණ තත්ත්වයට ඇද වැටෙන්න ගත්තා. වසරකට වැඩි කාලයක් රෝහලේ දුක් විඳපු දයාරත්න ඉන්පසුවයි රෝද පුටුවකට තම ජීවිතය තල්ලු කළේ.

“මගේ දරුවා උපතින් ම ආබාධිතයි. දැන් එයාට වයස අවුරුදු 27 ක්. ඒත් අද එයාටවත් එයාගේ වැඩක් පලක් කර ගන්න බැහැ. මට දුක මගේ මේ කුඩා දියණිය ගැන. දැන් මගේ බිරිඳ පිරිසිදු කිරීමේ රැකියාවක් කරන්නේ.


එයාට ඒකට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ හොයන කීයෙන් හරි තමයි අපි හතර දෙනා ජීවත්වෙන්නේ. මට මගේ බේත් හේත් වලට වියදම් කරන්නේ. තවමත් මගේ කකුලේ තුවාලය සුවවෙලා නැහැ. දැන් හිටපු ගමන් මගේ පපුවේ අමාරුවක් හැදෙනවා.

මහා රාත්‍රිය කියලා නැහැ කොහොම හරි මාව ඉස්පිරිතාලෙට එක්කරගෙන යන්නෙත් ගෙදර අය. මට වාවන්නේ නැත්තේ අද මම හින්දා මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි ගොඩක් දුක් විඳිනවා. සමහර දාට අපි තේ එකක් විතරක් බීලා නිදාගන්න වාර අප්‍රමාණයි.”

දයාරත්නගේ මුවට එන හැමදේම ඔහු නොනවත්වා කියාගෙන යන්නේ ඔහු වැටී ඇති අසරණකමේ අගාධය නිසයි. ජීවිතයට එල්ල වෙන ප්‍රශ්න කෙළවරක් නැති තැන පසුගිය වැසි සමයේ මේ අසරණ පවුල ජීවත් වුණ කුඩා පැල්පතත් දියබත් වෙලා ගිහින්. මේ වෙනකොටත් ඔවුන් ජීවත්ව ඉන්නේ ඥාතියකුගෙන් ලැබුණු කුඩා නිවහනකයි.

මේ කතාව අපි ඔබට කිව්වේ ලිපියකින් අපට ලැබුණු හෝඩුවාවක් ඔස්සේ ගොස් සියැසින් සියල්ල දැකබලා ගත් නිසයි.

මේ නිසාම කිසිදු හව්හරණක් නොමැතිව අන්ත අසරණ තත්වයට ඇද වැටී ඇති දයාරත්නගේ පවුල ඔබෙන් සරණක් බලාපොරොත්තු වෙන්නේ වෙන කළ හැක්කක් නොමැති නිසාවෙන්. ‘හදවතක වේදනා’ තීරුව ඔස්සේ අපි නොයෙකුත් සිදුවීම් හෙළිදරව් කළා.

ඒ වගේ ම ඒ සඳහා හැකි පමණින් ඔබ සරණක් වුණ බවත් අපි දන්නවා. මේත් එවැනි ම පවුලක ඛේදනීය ඉරණමක්. අද දයාරත්නගේ පවුලට මේ අසරණකමෙන් මිදෙන්න ඔබේ දෑත් දිගු කරන්නට හැකිනම් ඒක ලොකු ශක්තියක්.

ඒ වගේ ම විශාල පුණ්‍ය කර්මයක්. හෙට දවසට ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදිය හැකිනම් ඒ මේ ආත්මෙම ඔබ රැස් කරගත් ලොකු පිනක්.


ලිපිනය - අංක 17/ ඒ,

වල්පොල, උග්ගස්හේන, රාගම

දුරකතනය - 0112241405

No comments: