Thursday, August 12, 2010

සුවහසක් ජනයා ගීතයෙන් සැනසූ හරූන් ලන්ත්‍රා අද අසරණයි

මගෙ නාමලී... බැඳි ආදරේ මනමාලියයි...මැණිකේ ඔයා... ඒ සොඳුරු හඬ මෙරට ගීත ශ්‍රාවකයනට කිසිදා අමතක නොවන මිහිරි මතකයන් සිහිගන්වන හඬක් බැව් නොකිවමනාය. ඒ තරමටම හැට හැත්තෑව දශකයන්හි රසික ජනතාව ලොල් බැඳ සිටි හරූන් ලන්ත්‍රා නම් මේ අපූර්ව මිනිසා මෙරට ගායන ලොවේ ප්‍රමුඛ ස්ථානයක වැජඹුණ ගායකයෙකි.

සුවහසක් රසික ජනතාව ගීතයෙන් අමන්දා නන්දයට පත්කළ මේ සොඳුරු ගායකයා අද කතා කර ගැනීමට පවා නොහැකිව දෑසින් ඇද හැලෙන කඳුළු බිඳුවලින් දිගු කතාවක් කීමට සැරසෙන අන්දම හද කකියවන සුළුය. හරූන් ලන්ත්‍රා වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය අත්තාරිත් ලන්ත්‍රා මහත්මියද දැන් දෑස් නොපෙනනා තත්ත්වයට වැටී ඇත. ඇසේ සුද රෝගයෙන් පෙළෙනා ඇය තම ආබාධය ගැන නොසිතමින් සිය ස්නේහවන්ත ස්වාමියාට උවටැන් කරමින් පසුවෙයි. ඔවුනට දරුවන් නැත. දරුවන්ගේ වටිනාකම මවුපියනට දැනීමට මේ යුවළ කදිම නිදසුනකි.


මම හරූන්ට එදා වාගේම අදත් ආදරෙයි. එයා වටිනා කලා කාරයෙක්. ඔහු ගීත ලෝකයට අගනා මෙහෙයක් කළ ගායකයෙක්. ඒ දේ දැනෙන්නේ මට පමණක් වීම ගැන මම පුදුම වෙමි. ලන්ත්‍රා මහත්මිය ශෝකයෙන් යුක්තව කතා කරයි. නමුත් ඉඳහිට හෝ අපේ දුක සැප බලා උදව්වක් කර යෑමට නිවෙසට පැමිණෙන කලාකරුවන් කීප දෙනෙක් සිටිනවා. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ඒ අතරින් කෙනෙක්. ඇය හරිම සංවේදී චරිතයක්.

අපට ස්ථිර නිවහනක් ලබා දුන්නේ සනත් ගුණතිලක මහතායි. අප දෙදෙනාටම දැනෙන්නේ ඔහු අපේම දරුවෙක් කියලායි. ලන්ත්‍රා මහත්මිය දෑත් ඉහළට ඔසවා සනත්ට පින්දෙයි. සනත් කාර්ය බහුල කෙනෙක්. ඒත් පුළුවන් වේලාවට ඇවිත් අපේ දුක සැප බලා යනවා. දැනට වෛද්‍යවරුන් කීපදෙනකු හරූන්ව පරීක්ෂා කළ බැව් පැවසූ ලන්ත්‍රා මහත්මිය ඔහු උගුරේ ශල්‍ය කර්මයකට භාජනය කළයුතු බැව් පවසා ඇතැයි කීය.

දැනට ටවර් හෝල් පදනමින් රුපියල් 2000 ක විශ්‍රාම වැටුපක් ලබන සොඳුරු ගායකයා ජීවිතයේ ලබන එකම ආදායම් මාර්ගය ද එයම කරගෙන ඇත. ගත සිත ඉතාම දුබල තත්ත්වයක පසුවන ඔහුට අසල්වාසීන්ගෙන් ලැබෙන සහයෝගය කෘත ගුණාව සිහිපත් කරයි. තමන්ගේ උගුරේ ශල්‍ය කර්මය හා බිරියගේ් ඇසේ ආබාධ සුවපත් කර ගැනීමට කෙළෙහි ගුණ දන්නා කවුරුන්ගේ හෝ සහාය පතන ලන්ත්‍රා යුවළ, වියපත් අසරණ කලාකරුවන්ට පිහිටවන ජනාධිපතිතුමාට තමන්ගේ අසරණ භාවය පෙන්වා දෙන්න යැයි කලාකරුවන්ගෙන් ඉල්ලීමක්ද කෙළේය.

දැනට 70 වැනි වියේ පසුවන මේ අහිංසක ගායකයා සහ 67 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය පිළිබඳව හදවත් උණුවන කලාකරුවන් සිටීනම් , මේ නිවෙසට ගොඩවැදී ඔවුන් පිළිබඳව නිවැරැදි අයුරින් සිතා බලා උපකාරී වීම කලාවට කරන්නා වූ මහා ගෞරවයක් බැව් කිව යුතුය. තමන් ගායනා කළ ගීත ඇසීමට ඉතා පි‍්‍රයතාවයක් දක්වන හරූන් ලන්ත්‍රා තමන් සතුව ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ නොමැති බැව් පැවසුවේ සංවේදී හදවතකින්ය.

ඔවුනගේ ලිපිනය නො. 42 නිවාස යෝජනා ක්‍රමය, පොල්හේනවත්ත, කැලණිය.

No comments: