Sunday, May 29, 2011

මේ වෙසක් මහේ ගුණවතීගේ පවුලේ දුක් ගින්දර නිවා දමමු



මිනිස්සු ජීවත්වෙන්න මොනතරම් දුක් විඳිනවද කියලා දකින්න මේ මහපොළවේ පයගහලම බලන්න ඕන. ඒ අතරේ ඔබ ඔබම ජීවත් කරන්න මොනතරම් වෙහෙසෙනවද කියලා නිකමට හරි හිතලා තියෙනවද? නැහැ නේද? ඇයි හේතුව එහෙම හිතන්නවත් වෙලාවක් ඔබට අපට නැහැ. ඒ තරමටම අපි කාර්ය බහුල වෙලා. සමහරවිට යන්ත්‍ර බවට පත්වෙලා කීවොත් ඒකත් වැරැදි නැහැ. ඇත්තටම ජීවත්වෙන්න අපි හැමෝම ගොඩක් දුක් විඳිනවා.

ඒ ඔබ අපි වගේම ගුණවතීටත් ඕන තමන්ගේ ජීවිතය සැපවත්ව ගතකරලා මියැදිලා යන්න නෙමෙයි. ඇස්දෙක වගේ මෙතුවක් කාලයක් රැකබලා ගත් දරුපැටව් තුන්දෙනාගේ ජීවිතවලින් දුක කියන දේ තුරන්කරලා දාන්නයි.

අම්මා කෙනෙක් විදිහට ගුණවතීගේ හදවත දරුසෙනෙහසින් පෝසත් වුණත් පෙරකළ කරුමයකටද නැතිනම් දෛවයේ සරදමකටදෝ අද අසරණ කමේ අගාධයටම ඇයත් දරුවන් තුන්දෙනාත් ඇදගෙන වැටිලා. ඒ අසරණකම කියන්න ඇයට කාත් කවුරුත් අහලකවත් නැහැ.

ජීවිතේ එකට බෙදාගන්න අත්වැල් බැඳගත් ගුණවතීගේ සැමියා පුංචි බණ්ඩා අද ආගිය අතක් නැහැ. සමහර විටෙක පුංචි බණ්ඩා ගුණවතිත් මේ කෙළිපැටික්කියන් තිදෙනාත් තනිකර දමා ගියාද? එහෙමත් නැතිනම් පුංචි බණ්ඩාගේ ජීවිතයට කුමක් හෝ සිද්ධ වුණාද? අද ඒ සියල්ලට විසඳුම් දන්නේ උඩඉන්නා දෙවියන් පමණක් බව ඔබට කියන්න ඕන. ජීවිතයෙන් බිංදු මාත්‍රයක් ඔස්සේ අද අපි ඔබ ඉදිරියේ ලෙහා දමන්නේ ජීවත් වෙන්න අනේක දුක්විඳින ඩී.ජී. ගුණවතීත් ඇගේ දියණියන් තිදෙනාගෙත් කතාවයි.

බිබිල කරාඬුගල ගම් පියසේ සිට තවත් සැතපුම් කිහිපයක් ඇතුළට වෙන්න මහගම ගම් ගොඩැල්ල පෙදෙසේ ඇති ඔබ දකින මේ පුංචි පැල්පත ගුණවතීටත් දෝණිනැන්දලටත් මහමෙරක් වගේ. සමහරු බුමුතුරුණු ඇතිරූ සත්මහල් ප්‍රාසාදවල පස්කම්සැප විඳිද්දී අද ගුණවතීලා වැහැරිලා ගිය මේ පැල්පතේ කෙසේ හෝ ජීවත්වෙන්න වාරු ගන්නවා.

”පසුගිය ටිකේම වැහැපු වැස්සට බොහෝම අමාරුවෙන් අපි හිටියේ. මේ පැල්කොටේ මැද්දෙන් වතුර ගලාගෙන යනකොට එළිවෙනකම් මම මගේ කෙල්ලෝ තුන්දෙනා ළංකරගෙන මුල්ලකට වෙලා ඇහැරලා ඉන්නේ පපුව පිච්චි පිච්චි. කොයි වෙලාවේ මේක කඩාගෙන වැටෙයිද කියලා කියන්න බැහැ. මේ විඳින දුක කියන්න කාත් කවුරුත් ළඟ පාතක නැහැ මහත්තයෝ. අද අපි ඉන්නේ ගොඩක් තනිවෙලා අසරණ වෙලා.”

ගුණවතීගේ දෙනෙතින් කඩා වැටෙන කඳුළු කැට අතරින් ඒ අසරණකම අපට හුඟක් හොඳින් වැටහුණා. මෙතුවක් කාලයක් දරුවන්ටත් හොරෙන් කඳුළු වැගිරූ ගුණවතීගේ හදවතේ ඇති දුක අපි ඉදිරියේ ලෙහා දමන්න ඉඩදී අප බලා සිටියේ හදවතට දැනුණු දුක නොපෙන්වමින්.

”මේ දරුවන්ගේ බඩගින්න නිවන්න මම ගොඩක් දුක් විඳිනවා. ලොකු දුවට අවුරුදු දහසයක්. දෙවැනි දුවට අවුරුදු නමයයි. පොඩිදුවට අවුරුදු අටයි. තුන්දෙනාම ස්කෝලේ යන්න ගොඩක් ආසයි. ඉගෙන ගන්නත් දක්‍ෂයි. මහත්තයලාට ඇත්ත කියන්න මම වැස්සකටවත් ස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයි. අද අපි දුක් විඳින්නේ ඒ හන්දා. ඒත් මම මේ විඳින දුක මේ දරුවන්ට විඳින්න දෙන්න බැහැ.”

ගුණවතීගේ කුඩා නිවෙස


පසුගිය දිනවල ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව ඉවක් බවක් නැතුව හැම තැනටම ඇද වැටී දෝර ගලායද්දී මේ පුංචි පැල්පතේ මුල්ලක තිබුණු දියණිවරුන්ගේ පොත්පත් ටිකත් කාටත් හොරා අරගෙන ගියේ හිත්පිත් නැතුවමයි. ඒ නිසාම දින ගණනාවක් ඉස්කෝලේ යන සිහිනය සිහිනයක්වම තියාගන්න මේ දියණියන්ට සිද්ධවුණා.

”මෙතන ඉඳලා ඉස්කෝලේට හැතැප්ම හය හතක් විතර තියෙනවා. මේ දරුවෝ ඒ තරම් දුරක් යන්නේ පයින්මයි. සපත්තු කෑලි දෙකක්වත් නැතුව ඒ තරම් දුරක් පයින් යන්න බැහැ. ලොකුදුව මාස හතරක් විතර පාසලට ගියේ නැහැ. කකුල් දෙකට සපත්තු දෙකක් නැතුවම බැරිම තැන කොහොමහරි දුක් විඳලා මම සපත්තු දෙකක් අරගෙන දුන්නා. මේ තුන්දෙනාම ආසයි ඉස්කෝලේ යන්න. ඒත් ඕන පොත්, පැන්සල් අරන් දෙන්න මට ආර්ථිකයක් නැහැ.

දවස තිස්සේ කොහොමහරි මහන්සිවෙලා එක වේලක් හරි මේ දරුවන්ට දෙන්න මම මේ මහපොළවත් එක්ක හැප්පෙනවා. දුවලට කන්න ඕන දෙයක් හරි ආස දෙයක් හරි තියෙනවා නම් කවදාවත් මට කියලා ඒවා ඉල්ලලා නැහැ. මම විඳින දුක දැකලා එයලා ඒවා හිතේ තියාගෙන ඉන්නවා. මට තේරෙනවා මහත්තයෝ පුංචි වුන් ආස දේවල්. ටොපියක්, චොක්ලට් එකක් තියා සෙල්ලම් බඩුවක්වත් දෙන්න පුළුවන් ශක්තියක් මම ළඟ නැහැ.”

”රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ”. මාලනී බුලත්සිංහල අපූරුවට ගැයූ ගීතය මගේ මතකයට ආවා. ජීවිතේ කියන්නේ මේකද? ඇස්වල පුරෝගත්තු කඳුළු කැට හංගාගෙන මේ දියණියන් තිදෙනා මුහුණ දෙන්න බැරි තරම් ලැජ්ජාවකින් ඉන්න වග අපට තේරුණා. ඒ නිසයි මේ අසරණකම ඔබ ඉදිරියේ තියන්න අපි කල්පනා කළේ. අද ගුණවතීගේ ආර්ථිකය ගොඩගන්න ඇයට එකම පිළිසරණ වී ඇත්තේ මේ සියල්ල නිසොල්මනේ බලා සිටින මහවනය විතරමයි.

”මේ දරුවන්ගේ තාත්තා ඉන්න කාලේ කුලියක් හරි කරලා කීයක් හරි හොයාගෙන ආවා. ඒත් අද එයා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ දරුවෝ තුන්දෙනයි මමයි තනිවුණා. එදා ඉඳලා මම මේ කැලේ ඇතුළට ගිහින් නෙල්ලි, අරළු, බුළු හොයාගෙන ඇවිත් කොහොමහරි විකුණගන්නවා. ඒ ගියත් දවස් දෙක තුනක්වත් කැලේ ඉන්න බලාගෙන යන්න ඕන.

අද මට එහෙමවත් කරන්න බැහැ මේ දරුවෝ තුන්දෙනා තනියෙම හන්දා. මට බයයි මේ දරුවන්ට කරදරයක් වෙයි කියලා. ඒ නිසා ගිය පයින්ම පුළුවන් ඉක්මනට ආපහු එනවා.

එහෙම ගිහින් හිස් අතින්ම ගෙදරට ආව වාර අනන්තයි. මහත්තයලාට තේරෙනවා ඇති මේ පැල්කොටේ මමයි මේ ගෑනු දරුවන් තුන්දෙනයි ගෙවන ජීවිතය කොහොමද කියලා. මට කොහොමහරි දුක්විඳලා මේ දරුවන්ගේ බඩගින්දර නිවාගන්න පුළුවන්. ඒත් පුළුවන් නම් කාටහරි කියලා මේ දරුවන්ට ඉස්කෝලේ යන්න පෑනක් පැන්සලක් පොතක් පතක් අරන් දුන්නොත් ලොකු පිනක්.”

ගුණවතීට තියෙන්නේ අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක්. එහෙත් මේ පුංචි පැල්පතේ හෙට දවස පැහැබර කරන්න හැකියාව තියෙන්නේ ඔබට අපට විතරමයි. මේ වෙනකොටත් ගුණවතීලා ගෙවන ජීවිතයට යම් සරණක් ලබා දෙන්න ගමේ ස්වේච්ඡා ආයතනයක් ඉදිරිපත් වුණේ හැකි විදිහට උදව්වක් ලබා දීමේ අරමුණින්. ගුණවතීගේ නිවහන ගොඩනඟන්න ඔවුන්ට සුළු වශයෙන් ශක්තියක් දීමට හැකි බවත් පුළුවන් නම් පින් කැමැති බොහෝ අයට ඒ වෙනුවෙන් දායක වෙන්නට හැකියාව තිබෙන බවත් ඔවුන් අපට කිව්වා.

එහෙත් බැංකු පොතක ගිණුමක් තියා ගුණවතීලා සම්බන්ධ කරගන්න කිසිම හැකියාවක් නැති තැන අප ගමේ ස්වෙච්ඡා සංවිධානයේ දුරකතන අංකය ලබාගත්තේ ඔවුන් හරහා ගුණවතීලට සරණක් වෙන්න පුළුවන් කියන අරමුණින්. අදටත් මේ දිරාගිය පැල්පතේ බොහෝ දුක් ගින්දරක් උහුලමින් ජීවිකාව ගෙවන ගුණවතීත් මේ ආදරණීය දියණියන් තිදෙනාගේ ජීවිතවලටත් අඳුර නසා ආලෝකය එක්කළ හැක්කේ දයාබර පින් සිත් ඇති ඔබට විතරමයි.

හැකි නම් ගුණවතීගේ දියණියන්ට පෑනක් පැන්සලක් පොතක් හෝ ලබාදෙන්න පුළුවන් නම් ඒක ගුණවතී ගෙවන දුක්ඛිත ජීවිතයට අස්වැසිල්ලක් වේවි. ඒක එහෙම වෙනවා නම් ඇත්තටම ඔබ එය කරන විශාල පුණ්‍යකර්මයක්. 2600 සම්බුද්ධත්ව ජයන්තිය ගෙවන මේ පින්බර වෙසක් මහේ එය අප ඔබ කරගන්නා නිම කළ නොහැකි කුසලයක් වේවි.

ගමේ ස්වෙච්ඡා ආයතනයේ දුරකතනය – 055 - 2265160

No comments: