Friday, May 20, 2011
මේ හතර දෙනාගේ ජීවිතය මහ පාරේ
මිනිසුන් මිහිපිට උපදින්නේ තරාතිරම, වත් පොහොසත්කම්, කුලමල, උස් පහත්කම් බලලා නෙමෙයි. පොළොවට පයගහනකොට අපි මේ ලෝකේ කළු ද සුදු ද කියලා කවුරුත් දන්නෑ. ඒත් ඉතිං උපන් පොළොවේ ජීවත්වෙන්න අපි කොයි කාටත් සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි සමහරුන් පස්කම්සැප විඳිද්දි තවත් සමහරුන් අන්ත අසරණව දුගීව උපදින්නේ. ඒ හැමදේටම අපි කියන්නේ පෙර කළ කරුම කියලා. මොනවා කරන්න ද උපන්නානම් ජීවත්වෙන්නත් එපැයි. එහෙම ජීවිතේ ගෙනයන්න මේ මහ පොළොවත් එක්ක හරි හරියට මිනිස්සු වාරු වෙනවා. ටිකක් හිතන්න අද ඔබ අප හැමදේම කරන්නේ ජීවත්වෙන්න නේද කියලා.
ඒත් අපි එකිනෙකාට දුරස්ව මේ සමාජයේ ජීවත්වෙන්න අමාරුයි. කාගේ හෝ හයිහත්තියක් මොන විදිහකින් හරි අපි කොයි කාටත් ඕන වෙනවා. අන්න එහෙම සරණක් ඕන පවුලක් අද අපි ‘ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ කිසිම හව්හරණක් නැතිව මහපාර පමණක් උරුමව පත්තර මහගෙදරට ආ නිසයි. බලන්න මේ අසරණ පවුල අද ඉන්නේ ගතින් මෙන්ම සිතින් ද අසරණ වෙලා.
“පසුගිය දවස් ටිකේම හරිහමන් කෑමක් මේ දරුවන්ගේ බඩට වැටුණේ නැහැ මහත්තයෝ. එක දිගට වැස්ස තිබුණ නිසා හරියට වැඩක් පලක් ලැබුණේ නැහැ. බැරිම තැන අපි මේ මහත්තයලා හොයාගෙන ආවේ. අපි දෙන්නා ඇති වෙනකම් දුක් විඳලා තියෙන්නේ. මේ දුක බඩගින්න අපිට හුරුයි. ඒත් මේ දරුවෝ බඩගින්නේ අඬනවා බලාගෙන ඉන්න බැහැ.”
කතාවේ ආරම්භය පුදුමාකාර සංවේදියි කියලා අපිට තේරුණා. අපිට මොන හැම දුකක්ම උහුලගෙන ඉන්න පුළුවන්. ඒත් බඩගින්න උහුලගන්න පුළුවන් කාට ද? බැරිම වුණොත් වතුර ටිකකින් හරි අපි ඒ බඩගින්න නිවා ගන්නවා. ඒත් කුඩා දරුවෙකුට...? අපි එතැනට ප්‍රශ්නාර්ථයක් තියන්නේ ඒ හැඟීම ඔබ අප කවුරුත් දන්නා නිසා.
වයස අවුරුදු 32 ක් සපුරන ‘උපුල් තුෂාර’ රාජාංගණය යාය අට ප්‍රදේශයේත් අවුරුදු 29 ක් වයසැති ‘නිරෝෂා ගුණරත්න රාජාංගණය යාය දහතුන ප්‍රදේශයේත් ජීවිතය ගෙවද්දී සංසාර පුරුද්දකට මේ දෙදෙනාට එක්තැන් වෙන්නට වාසනාව උදා වෙනවා. හැබැයි එක දෙයක් අපි ඔබට කියන්න ඕන. උපුල්ටත්, නිරෝෂාටත් කාත් කවුරුවත්ම වගේම ඉන්න හිටින්න තැනැක්වත් ඒ වෙනකොට තිබුණේ නැහැ.
“කීයක් හරි හොයාගන්න මම කළේ පොල් කඩපු එක. මාව දරුකමට හදාගත්ත අම්මා මියැදුණාට පස්සේ මට එහෙ ඉන්න, අනෙක් අය අවසර දුන්නේ නැහැ. එතැනින් පස්සේ තමා පාරට වැටුණේ. අපි දෙන්නා මුණ ගැහෙනකොට කාත් කවුරුවත් අපිට නැහැ. අපේ නවාතැන් පොළ වුණේ රාජාංගණය පොළ විතරයි.”
උපන් දා සිට කාත් කවුරුවත් නැතිව හිටපු උපුල්ට ජීවිතයේ විඳින්න පුළුවන් උපරීම දුක් විඳින්න සිද්ධ වෙලා. ඒ විතරක් නෙමෙයි නිරෝෂාටත් එය පොදු කාරණයක් කියන එකත් අපි කියන්න ඕන. කොහොම වුණත් පාදයේ ආබාධයකින් පෙළෙන උපුල් මේ දරු පවුල ජීවත් කරන්න නොවිඳිනා දුක් විඳින වග ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය පෙනුම තව තවත් අපට කියාපෑවා.
“අපි ළඟ තියෙන්නේ හැඳුනුම්පත විතරයි. කොහොමහරි ජීවත්වෙන්න ඕන නිසා මම දැන් යකඩ කෑලි අහුලලා විකුණනවා. ඒ දේ කළත් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඒ ලැබෙන දෙයින් තමා අපි හතර දෙනා ජීවත්වෙන්නේ. මගේ ලොකු දුව සඳුනි මධුෂානිට දැන් අවුරුදු තුනයි. පොඩි දුව නිපුනි මධුෂානිට මාස පහයි. අපි හතර දෙනාම පහුගිය දින ටිකේ හිටියේ කඳානේ. මහ පාර අද්දර කඩයක් අයිනේ අපි හවසට ඇවිත් ඉන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මහ පාරේ තමයි අපි ජීවත් වෙන්නේ.”
විශ්වාස කරන්න මේ වෙනකොටත් මාස පහක මේ පුංචි දියණිය සැත්කම් කිහිපයකටම මුහුණ දීලා. පපුව ප්‍රදේශයත් හිස ප්‍රදේශයත් සැත්කම්වලට භාජනය වුණේ විෂබීජ ඇතුළු වී සැරව ගෙඩි හටගත් නිසයි. පුත්තලම මහ රෝහලෙන් අනුරාධපුර රෝහලෙන් එලෙස සැත්කම්වලට භාජනය වූ මේ සිඟිත්තියගේ හෙට දවස කෙසේ කොහොම විසඳෙයිද කියලා තවම අපි දන්නේ නැහැ. ඒත් ඇගේ ශරීරයේ සැත්කම් කළ සලකුණු ජීවිතයේ කුමක්දෝ අසරණකමක් කියාපානවා.
“අපිට ඉන්න හිටින්න තැනක් නැති නිසා මහ පාර අද්දර ඉන්න නිසා විෂබීජ ඇතුළු වෙලා කියලයි දොස්තර මහත්තුරු කිව්වේ. අපිට අඳින්න හරිහමන් ඇඳුමක් නැහැ. මේ තියෙන ඇඳුම් ටික තමයි මහත්තයෝ හෝදා හෝදා අඳින්නේ. පුළුවන්නම් අපිට මොකක්හරි උදව්වක් කරන්න මහත්තයෝ.”
ඒ අහිංසක ඉල්ලීම හැර වෙන කුමක් නම් ඔවුන් අපෙන් ඉල්ලන්න ද? මේ ලෝකේ ජීවත්වෙන්න නිදහස අපි හැමෝටම තියෙනවා. ඒත් පෙර කළ අකුසලයකින් හෝ ජීවිතේට වන්දි ගෙවන්න සිද්ධ වුණොත්...?
ඔව් උපුල්, නිරෝෂා මේ පුංචි පවුලට ගොඩනගන්න තරම් ලොකු බලාපොරොත්තු නැහැ. ඔවුන්ට ඇත්තේ අද දවස ජීවත්වීම ගැන බලාපොරොත්තුව විතරමයි. කාත් කවුරුත් නැති ඉන්න හිටින්න තැනක් නැති, ලිපිනයක් නැති මේ අසරණ පවුල දවසක ඔබට කොහේ හෝ මාවතකදී මුණගැහෙන්න පුළුවන්. එදාට ඔවුන් දෙස බලා යන්න අමතක කරන්න එපා.
“අපිට මෙහේ ජීවත්වෙන්න අමාරුයි. අපි ආයෙත් රාජාංගණය පොළට යනවා. එහේ පුළුවන් විදිහට ජීවත් වෙනවා. රාජාංගණයේ ගොඩක් අය අපි ගැන දන්නවා. පොලීසියේ මහත්තුරු අපිට උදව් කළා. ඒ මහත්තුරු දන්නවා අපි විඳපු දුක් ගැහැට.”
අද මේ කතාවේ අවසානය අපි ඔබ ඉදිරියේ කියන්නේ වෙනදා මෙන් සරණක් වෙන්න කියන බලාපොරොත්තුවෙන්. ඒත් අද වෙනකොට උපුල්, නිරෝෂා සමඟ මේ පුංචි දියණියන් කොහේ කොහොම ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඒත් අවසන් වතාවට ඔවුන් කිව්වේ ආයෙත් රාජාංගණය පොළට යනවා කියලයි. මේ පුංචි එවුන්ගේ කුසගින්නට මොනවා වුණාද කියන්න අද අපි දන්නේ නැහැ. ඒ වගේම හෙට දවස ඔවුන්ගේ ජීවිත කොහොම වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ වගේ පවුල් ගණනාවක් අපේ රටේ අනන්තවත් ඇති. එහෙත් මේ දරු පැටවුන්ගේ ලෝකයට ආලෝකය එක්කරලා උපුල්, නිරෝෂා පවුලට ශක්තියක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment