Sunday, July 31, 2011

අසරණ මව දරු දුකින් වැලපෙයි



මිනිස්සු මිහිපිට උපදින්නේ දුක් විඳින්න හිතාගෙන නෙමෙයි. ඒක ඔබ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්. ඒත් ලබා උපන් හැටියට මහ පොළවේ පය ගහලා මොන අයුරින් හරි අපිට ජීවත්වෙන්න සිද්ධ වෙනවා. සමහරු සත්මහල් මාලිගාවල උපදිනකොට තවත් සමහරු වැහැරිලා ගිය පොල් අතු පැලක උපදින්නේ පතාගෙන එන විදිහට නෙමෙයි තමන්ට ලැබෙන විදිහට. මේක තමයි ඇත්ත.

ඒ හැම දේටම අපි පෙර කළ පින් පව් බලපානවා කියලත් ඔබ දන්නවා. හිතන්න. සමහරු උපතින්ම ශරීර සෞඛ්‍යයෙන් යහපත් වුණත් තවත් සමහරු උපතින්ම රැගෙන එන්නේ රෝගාබාධ විතරයි. ඒ මොන විදිහට අපි මේ මහ පොළවට පය ගැහැව්වත් ජීවිතේ ගෙවන්න දිරියක් දෙන්න වෙන්නේ අම්මටයි තාත්තටයි ඇර වෙන කාට ද?

අද වයස අවුරුදු හතළිස් පහක් වයසැති පුෂ්පා චන්ද්‍රානි මව තම ආදරණිය එකම දියණිය වෙනුවෙන් ඉන්නේ හැඬු කඳුළෙන්. ඒ ඇයි? එය ඔබට අපට ප්‍රශ්නාර්ථයක් වුණත් චන්ද්‍රානිට අද ඉතිරිව ඇත්තේ ඔබ ඉදිරියේ තමන්ගේ දුවගේ අඳෙීනාව කියාපෑම විතරමයි. ඒ කතාව අපි ‘කඳුළක උණුසුම’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ මෙතුවක් කාලයක් ඔබ අසරණ මිනිසුන් උදෙසා දිගු කළ දෑත් මේ දියණිය වෙනුවෙන් යොමු වේවි කියන බලාපොරොත්තුවෙන්.

“මගේ දුව සෂිණි අමිතදරාට දැන් අවුරුදු 14 ක්. අපි පදිංචි වෙලා ඉන්නේ පන්සල පාරේ හොරපේ රාගම. දුව උපදිනකොටම එයා හොඳ ශරීර සනීපයෙන් හිටියේ. කිසිම ආබාධයක් තිබුණේ නැහැ. ඒත් පහුවෙනකොට දුවගේ යම් යම් වෙනස්කම් අපි දැකපු නිසා කොළඹ මහ රෝහලට දුව එක්කරගෙන ගියා. එතැනදි කිව්වා දුවගේ ඔළුවේ වතුර තියෙනවා ඒ නිසා ඒකට සැත්කමක් කරන්න ඕන කියලා. පස්සේ සුනිල් පෙරේරා දොස්තර මහත්තයා මේ සැත්කම දුවට කළේ. ඊට පස්සේ යම් සහනයක් තිබුණා. ඔහොම ඉන්න අතරතුර දුවට ස්කෝලේ යන්නත් පුළුවන්කම ලැබුණා. හීන් කෙන්ද මහා විද්‍යාලයට තුන වසර දක්වාම දුව ගියා. ඒ අතරතුරදියි නැවත වතාවක් දුවව අසනීප වෙන්න ගත්තේ. උණ ගැනෙන්න ගත්තා වමනය යන්න ගත්තා එක දිගට. ඒක අඩුවුණේම නැහැ. අපි ආපහු දුව කොළඹ මහ ඉස්පිරිතාලේට අරගෙන ගියා. එතැනින් පස්සේ අපිට වෙන්න තියෙන හැමදේම සිද්ධ වුණා මහත්තයෝ.”

සෂිණි දියණිය කොළඹ මහ රෝහලට රැගෙන එන්නේ හදිසියේම වැලඳුණ උණ සනීප කරගැනීමේ අරමුණින්. ඒත් මීට පෙරත් ඔළුවට පිරෙන වතුර නිසා කළ සැත්කමත් ඒ ආබාධයත් මේ දියණියට බලපා තිබුණා. ඒ නිසාම මේ වන විටත් සැත්කම් 17 කට මුහුණ දෙන්න ඇයට සිද්ධ වෙලා. ඒත් මෙතුවක් කලක් දෙපයින් මහ පොළවේ පය ගහපු සෂිණිට සදාකාලිකවම එක්තැන් වෙන්නට සිද්ධ වුණා. අද ඇය රෝද පුටුවකට සිය ජීවිතය තල්ලුකර අවුරුදු පහක්.

“මම අවුරුදු පහක් තිස්සේ දුව එක්ක මේ දුක් කරදර විඳිනවා. එයාගේ සම්පූර්ණ ශරීරයම දැන් පණ නැහැ. ඒ නිසා රෝද පුටුවක හිටියත් ශරීරය රෝද පුටුවකට තියලා බැඳලා කියන්න ඕන. අද එයාගේ හැමදේම කරන්නේ මම. අම්මා කෙනෙක් විදිහට මට මගේ දරුවට අහිතක් වෙනවා බලන් ඉන්න බැහැ. කොහොමහරි එයාට එයාගේ වැඩ කරගන්න පුළුවන් මට්ටමට හරි සනීප කරගන්නයි මම උත්සාහ ගන්නේ.”

ලබා උපන් හැටියෙම මහමඟට සිය ලෙයින් උපන් බිලිඳුන් විසිකර දමා යන සමාජයක එවැනි මාතෘත්වයේ නාමය නොහඳුනන අයට පුෂ්පා චන්ද්‍රානි අම්මා ලොකු ආදර්ශයක් කියලා කියන්නම වෙනවා.

අපි දන්නවා මෙවන් අම්මලා සිය දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. ඒත් තමන්ගේ දරුවෙක් ලෙඩ වුණාම ඒ දුක දන්නේ මේ දාරක ස්නෙහය හඳුනන මව්පියන් විතරමයි.

“මට හරිහමන් රැකියාවක් නැහැ. මගේ මහත්තයා කරන්නෙත් කුලී වැඩ. මම දුවත් රැකගෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ පවුලේ අයටවත් මට උදව්වක් කරන්න හැකියාවක් නැහැ. දුවට දැන් ටිකක් වචන දෙක තුනක් කියාගන්න පුළුවන්. නිතරම කන්න තමයි ඉල්ලන්නේ. ඒත් එහෙම ලොකු ආර්ථිකයක් නැතුව අපි ගොඩක් අමාරුකම් මැද්දේ ඉන්නේ. දොස්තරලා කියන්නේ දුවට දීර්ඝ කාලයක් මේ විදිහට ඉන්න වෙයි කියලයි. පුළුවන්නම් මහත්තයෝ මට මේ දරුවව බලාගන්න උදව්වක් කරන්න කියලා ලියන්න.

මේ වෙනකොටත් දුවගේ බේත් හේත්වලට, කිරිවලට ලොකු මුදලක් හොයාගන්න ඕන. සමහර තැන්වලට මම ණය වෙලා දුවට බෙහෙත් ටික අරගෙන දෙන්නේ. මට කුලියක්වත් කරගන්න යන්න විදිහක් නැහැ මේ දරුවව මේ විදිහට තනියම දාලා. අපි ඉන්නේ කුලියට. ඒත් දැන් හරිහැටි කුලිය ගෙවා ගන්න බැරුව අපි ඉන්නේ. එහෙම වුණොත් මට මේ දරුවව අරගෙන පාරට බහින්නයි වෙන්නේ.”

බලන්න මිනිස්සු මෙතරම් අසරණ වෙනකොට ඒ අසරණකමට එක්වෙන්නේ තවත් ප්‍රශ්න විතරමයි. අද මේ දියණියත් එක්ක පුෂ්පාත් සිය සැමියාත් හව්හරණක් නැතුව අන්ත අසරණ වෙලා. අපි මේ කතාව ඔබ ඉදිරියේ කියන්නේ පුළුවන්නම් මේ කඳුළුවලට සරණක් වෙන්න බලන්න. ඒ වගේම මේ දියණිය බේරගන්න හැකි අයුරින් උදව්වක් කළොත් ඒකත් මේ පවුලට කරන විශාල පුණ්‍ය කර්මයක් කියලා ඔබට හිතෙයි.

ලිපිනය - නො. 69, පන්සල පාර, හොරපේ, රාගම.

දුරකතනය - 0725076622



වසන්ත ජයසිංහ ආරච්චි - 2011.07.31 - Silumina

No comments: