Monday, August 16, 2010

ඕ’ පොසිටිව් වකුගඩුවක් නොලැබුණොත් ?

දිනෙන් දින ‘හදවතක වේදනා’ තීරුවට ලැබෙන ලිපිවලින් කරන බොහෝ ඉල්ලීම් හැකි අයුරින් ඉටුකර දෙන්න අපි මේ තීරයෙන් හැමවිට ම උත්සාහ ගන්නවා. ඒ නිසා ම ඒ ඉල්ලීම්වලට දෑත දිගු කරමින් සහනයක් ලබා දෙන්නත් ඔබත් හැකි අයුරින් උත්සාහ ගන්න බව අපි දන්නවා. මේ එවන් දයාබර ඉල්ලීමක්. ආදරණීය සැමියාගේ ජීවිතය වෙනුවෙන් ඒ ජීවිතයට ශක්තියක් වෙන්න සෙනෙහෙබර බිරිඳක් අප වෙත යොමු කළ ලිපියක් වෙනුවෙනුයි මේ ඉඩහසර අප වෙන් කළේ.

දෙහිවල අත්තිඩිය යසෝරාපුර හයවන පටුමග නො. 06 ඒ පදිංචි මුතුකුමාර් සුරේෂ්ට වයස අවුරුදු 43 ක්. ඒත් මේ වනවිටත් වකුගඩු දෙක ම දිය වී ඔහු මේ මොහොතේ සිටින්නේ ජීවිතේ තීරණාත්මක මොහොතකයි. ඒ වේදනාවෙන් ඔහුව ගලවා ගත හැක්කේ හැකි ඉක්මනින් ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඔහුට ලබාදුන්නොත් පමණමයි.

මේ වනවිටත් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් දිනෙන් දින විශාල මුදලක් කැප කරමින් රුධිරය ඉවත් කිරීම් සිදු කරමින් සිටියි.

දැනටමත් වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් සුරේෂ්ට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා ‘ඕ’ පොසිටිව් වකුගඩුවක් වගේ ම මුදලින් රුපියල් ලක්ෂ අටක මුදලක් අවශ්‍ය වී තිබේ. ඉතාම අසරණ තත්ත්වයට ඇද වැටී ඇති ඔහුට එවන් මුදලක් සොයා ගැනීම අසීරු කටයුත්තක් වී ඇති හෙයින් සිය අසරණකම අප හරහා ඔබ හමුවේ තියන්නට හදවතක වේදනා තීරුවට ඔවුන් සිය වේදනාව හෙළිදරව් කළා.

දයාබර පින් සිත් ඇති මිනිසුන් මේ මිහිතලයේ සිටිනා වග අප මේ තීරුව හරහා නිරන්තරයෙන් දැක තිබෙන කරුණක්. ඒ නිසා ම සුරේෂ් ගේ ජීවිතයට මේ මොහොතේ සරණක් විය හැක්කේ දයාබර ඔබට විතරමයි. හැකි නම් ඔහුගේ ජීවිතය වෙනුවෙන් ‘ඕ’ පොසිටිව් වකුගඩුවක් හෝ ඒ සැත්කම සඳහා අවශ්‍ය මුදල ලබාදිය හැකි නම් ඒක ඔබ අප කරන ලොකු පිනක්. එහෙම නේද?


දුරකතනය - 0722908107, 0114 997990

ගිණුම් අංක - 70681109, ලංකා බැංකුව, ගල්කිස්ස ශාඛාව.

කාටත් අත නොපා ජීවත්වී රෝද පුටුවට වැටුණු දයාරත්න

මේ ඉන්නේ තාත්තයි දුවයි. මේ ඡායාරූප බලන ඔබට ගැටලුවක් නොවෙන්නයි අපි මේ බව මුලින් ම කිව්වේ. ආර්.ඩි. දයාරත්න මේ තාත්තට වයස අවුරුදු 58 ක්. ඒ අසල ම ඉන්න බාලම දියණියට අවුරුදු 27 යි. රාගම වල්පොල උග්ගස්හේන පදිංචි මේ පුංචි පවුලේ සාමාජිකයින් හතර දෙනෙක්. සාරාංශයයි ඒ.

පසුගිය දිනෙක ‘හදවතක වේදනා’ තීරුවට ලැබුණු අඳෙීනාත්මක ලිපියක් වෙත හැමදාමත් මෙන් ම අපේ අවධානය යොමු වුණා. ඒ නිසා ම පසුගිය දිනෙක ආර්.ඩී. දයාරත්න හොයාගෙන අපි රාගමට ආවා. අද ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව වෙන්වන්නේ මේ ආදරණීය පවුලේ කතාව වෙනුවෙන්.

ඔබ මේ දකින දයාරත්න අද රෝද පුටුවකට වැටුණත් මීට ඉහත කාටත් අත නොපා ජීවත් වෙන්න වෙර වීරිය ගත්ත සුන්දර මනුෂ්‍යයෙක්. ඒ නිසා ම 1970 ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාවක් කරන්න දයාරත්නට වාසනාව උදා වෙනවා.

“මම ඒ කාලේ ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අතේ මිටේ කීයක් හරි තිබුණ නිසා 1979 අවුරුද්දේ මම සමදරා මගේ බිරිඳ විවාහ කරගත්තා. ඒ කාලේ අපිට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒත් නොසිතපු විදිහට 1983 දී ඒ රස්සාව මට නැතිවෙලා ගියා. ඒකට හේතුව වුණේ දෙපාර්තමේන්තුව හිටි හැටියෙම වහලා දමපු එක. ඔය වෙනකොට අපි දෙන්නට දුවලා දෙන්නෙක් හිටියා. ඊට පස්සෙයි මම පෞද්ගලික වාහනවල රියැදුරෙක් විදිහට වැඩ කළේ.”

ඔව් දයාරත්නව බොහෝ දෙනෙක් දන්නේ හඳුනන්නේ ත්‍රීවීල් දයාරත්න විදිහට. ඉන්පසු කෙසේ හෝ මේ පුංචි පවුල ගොඩගැනීමේ වගකීම තාත්තා කෙනෙක් විදිහට ඉටු කරන්න ඔහු නොවිඳපු දුකක් නැති තරම්. ඒකට තවත් හේතුවකුත් මේ පුංචි පවුලෙන් ම ගොඩනැඟී තිබුණා.

ඒ දයාරත්නගෙත් සමදරාගෙත් බාලම දියණිය උපතින් ම ආබාධයකින් පෙළුණු නිසයි. මේ සියල්ලත් හිතේ රඳවාගෙන ජීවිතයත් එක්ක ගැටුණු මේ තාත්තට කාත් කවුරුත් නොසිතූ විදිහට දෑස් පෙනීම නැතිවෙලා යන්න ගත්තා.

“ඊට පස්සේ තමා අපි ගොඩක් අසරණ වුණේ. මට මගේ වැඩකටයුතු කරගන්න පවා නොහැකි තැනට පත් වුණා. ඒ වෙනකොටත් මගේ දියවැඩියා තත්ත්වය උපරිම වැඩිවෙලා. ලෙඩක් දුකක් හැඳුනත් ඒ තරම් අපි ගාණක් ගත්තේ නැහැ. ඒකෙන් වුණේ මගේ ලෙඩේ බරපතළ වුණ එක. ඇස් සුදෙන් වැහිලා ගියා. ඒත් ටෙලිකොම් එකේ මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න අපේ අසරණකම දැකලා කරපු උදව්වෙන් එක ඇහැකට කාචයක් දමා ගත්තා.”

මේ හේතුව නිසා ඉන්පසු රියැදුරකු විදිහට කටයුතු කිරීමේ වාසනාව දයාරත්නගෙන් ඈතට පලා ගියා. ඒත් මොන බාධක ජීවිතයට එල්ල වුණත් ඉන් නොසැලුන දයාරත්න හැකි පමණින් මහමඟ වෙළෙඳාම් කරන්න පටන් ගත්තේ මේ පවුල තවදුරටත් ආගාධයට ඇද දමන්නට නොහැකි නිසයි.

“මම එහෙම හරි උත්සාහ කළේ එදා වේල කාලා හරි ජීවත්වෙනවා කියලා හිතලා. ඒත් ඔය අතරෙදියි මගේ කකුලේ තුවාලයක් හැදුණේ. පස්සේ මම රාගම මහ ඉස්පිරිතාලේ ට ගියා. ඒත් ඒ වෙනකොටත් මගේ තිබුණ දියවැඩියා රෝගය නිසා තුවාලය ගොඩක් ඔඩු දුවලා. ඊට පස්සේ දොස්තර මහත්තුරු කිව්වේ කකුල කපලා අයින් කරන්න ඕන කියලා.”

දයාරත්නගේ තිබුණ රෝගී තත්ත්වයට ඉන්පසු පිළියම වුණේ ඔහුගේ වම්පාදය වළලුකර ළඟින් කපා ඉවත් කිරීමයි. මේ නිසා ම කබලෙන් ළිපට වැටුණු දයාරත්නගේ පවුලම අන්ත අසරණ තත්ත්වයට ඇද වැටෙන්න ගත්තා. වසරකට වැඩි කාලයක් රෝහලේ දුක් විඳපු දයාරත්න ඉන්පසුවයි රෝද පුටුවකට තම ජීවිතය තල්ලු කළේ.

“මගේ දරුවා උපතින් ම ආබාධිතයි. දැන් එයාට වයස අවුරුදු 27 ක්. ඒත් අද එයාටවත් එයාගේ වැඩක් පලක් කර ගන්න බැහැ. මට දුක මගේ මේ කුඩා දියණිය ගැන. දැන් මගේ බිරිඳ පිරිසිදු කිරීමේ රැකියාවක් කරන්නේ.


එයාට ඒකට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ හොයන කීයෙන් හරි තමයි අපි හතර දෙනා ජීවත්වෙන්නේ. මට මගේ බේත් හේත් වලට වියදම් කරන්නේ. තවමත් මගේ කකුලේ තුවාලය සුවවෙලා නැහැ. දැන් හිටපු ගමන් මගේ පපුවේ අමාරුවක් හැදෙනවා.

මහා රාත්‍රිය කියලා නැහැ කොහොම හරි මාව ඉස්පිරිතාලෙට එක්කරගෙන යන්නෙත් ගෙදර අය. මට වාවන්නේ නැත්තේ අද මම හින්දා මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි ගොඩක් දුක් විඳිනවා. සමහර දාට අපි තේ එකක් විතරක් බීලා නිදාගන්න වාර අප්‍රමාණයි.”

දයාරත්නගේ මුවට එන හැමදේම ඔහු නොනවත්වා කියාගෙන යන්නේ ඔහු වැටී ඇති අසරණකමේ අගාධය නිසයි. ජීවිතයට එල්ල වෙන ප්‍රශ්න කෙළවරක් නැති තැන පසුගිය වැසි සමයේ මේ අසරණ පවුල ජීවත් වුණ කුඩා පැල්පතත් දියබත් වෙලා ගිහින්. මේ වෙනකොටත් ඔවුන් ජීවත්ව ඉන්නේ ඥාතියකුගෙන් ලැබුණු කුඩා නිවහනකයි.

මේ කතාව අපි ඔබට කිව්වේ ලිපියකින් අපට ලැබුණු හෝඩුවාවක් ඔස්සේ ගොස් සියැසින් සියල්ල දැකබලා ගත් නිසයි.

මේ නිසාම කිසිදු හව්හරණක් නොමැතිව අන්ත අසරණ තත්වයට ඇද වැටී ඇති දයාරත්නගේ පවුල ඔබෙන් සරණක් බලාපොරොත්තු වෙන්නේ වෙන කළ හැක්කක් නොමැති නිසාවෙන්. ‘හදවතක වේදනා’ තීරුව ඔස්සේ අපි නොයෙකුත් සිදුවීම් හෙළිදරව් කළා.

ඒ වගේ ම ඒ සඳහා හැකි පමණින් ඔබ සරණක් වුණ බවත් අපි දන්නවා. මේත් එවැනි ම පවුලක ඛේදනීය ඉරණමක්. අද දයාරත්නගේ පවුලට මේ අසරණකමෙන් මිදෙන්න ඔබේ දෑත් දිගු කරන්නට හැකිනම් ඒක ලොකු ශක්තියක්.

ඒ වගේ ම විශාල පුණ්‍ය කර්මයක්. හෙට දවසට ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් ලබාදිය හැකිනම් ඒ මේ ආත්මෙම ඔබ රැස් කරගත් ලොකු පිනක්.


ලිපිනය - අංක 17/ ඒ,

වල්පොල, උග්ගස්හේන, රාගම

දුරකතනය - 0112241405

Thursday, August 12, 2010

සුවහසක් ජනයා ගීතයෙන් සැනසූ හරූන් ලන්ත්‍රා අද අසරණයි

මගෙ නාමලී... බැඳි ආදරේ මනමාලියයි...මැණිකේ ඔයා... ඒ සොඳුරු හඬ මෙරට ගීත ශ්‍රාවකයනට කිසිදා අමතක නොවන මිහිරි මතකයන් සිහිගන්වන හඬක් බැව් නොකිවමනාය. ඒ තරමටම හැට හැත්තෑව දශකයන්හි රසික ජනතාව ලොල් බැඳ සිටි හරූන් ලන්ත්‍රා නම් මේ අපූර්ව මිනිසා මෙරට ගායන ලොවේ ප්‍රමුඛ ස්ථානයක වැජඹුණ ගායකයෙකි.

සුවහසක් රසික ජනතාව ගීතයෙන් අමන්දා නන්දයට පත්කළ මේ සොඳුරු ගායකයා අද කතා කර ගැනීමට පවා නොහැකිව දෑසින් ඇද හැලෙන කඳුළු බිඳුවලින් දිගු කතාවක් කීමට සැරසෙන අන්දම හද කකියවන සුළුය. හරූන් ලන්ත්‍රා වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය අත්තාරිත් ලන්ත්‍රා මහත්මියද දැන් දෑස් නොපෙනනා තත්ත්වයට වැටී ඇත. ඇසේ සුද රෝගයෙන් පෙළෙනා ඇය තම ආබාධය ගැන නොසිතමින් සිය ස්නේහවන්ත ස්වාමියාට උවටැන් කරමින් පසුවෙයි. ඔවුනට දරුවන් නැත. දරුවන්ගේ වටිනාකම මවුපියනට දැනීමට මේ යුවළ කදිම නිදසුනකි.


මම හරූන්ට එදා වාගේම අදත් ආදරෙයි. එයා වටිනා කලා කාරයෙක්. ඔහු ගීත ලෝකයට අගනා මෙහෙයක් කළ ගායකයෙක්. ඒ දේ දැනෙන්නේ මට පමණක් වීම ගැන මම පුදුම වෙමි. ලන්ත්‍රා මහත්මිය ශෝකයෙන් යුක්තව කතා කරයි. නමුත් ඉඳහිට හෝ අපේ දුක සැප බලා උදව්වක් කර යෑමට නිවෙසට පැමිණෙන කලාකරුවන් කීප දෙනෙක් සිටිනවා. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ඒ අතරින් කෙනෙක්. ඇය හරිම සංවේදී චරිතයක්.

අපට ස්ථිර නිවහනක් ලබා දුන්නේ සනත් ගුණතිලක මහතායි. අප දෙදෙනාටම දැනෙන්නේ ඔහු අපේම දරුවෙක් කියලායි. ලන්ත්‍රා මහත්මිය දෑත් ඉහළට ඔසවා සනත්ට පින්දෙයි. සනත් කාර්ය බහුල කෙනෙක්. ඒත් පුළුවන් වේලාවට ඇවිත් අපේ දුක සැප බලා යනවා. දැනට වෛද්‍යවරුන් කීපදෙනකු හරූන්ව පරීක්ෂා කළ බැව් පැවසූ ලන්ත්‍රා මහත්මිය ඔහු උගුරේ ශල්‍ය කර්මයකට භාජනය කළයුතු බැව් පවසා ඇතැයි කීය.

දැනට ටවර් හෝල් පදනමින් රුපියල් 2000 ක විශ්‍රාම වැටුපක් ලබන සොඳුරු ගායකයා ජීවිතයේ ලබන එකම ආදායම් මාර්ගය ද එයම කරගෙන ඇත. ගත සිත ඉතාම දුබල තත්ත්වයක පසුවන ඔහුට අසල්වාසීන්ගෙන් ලැබෙන සහයෝගය කෘත ගුණාව සිහිපත් කරයි. තමන්ගේ උගුරේ ශල්‍ය කර්මය හා බිරියගේ් ඇසේ ආබාධ සුවපත් කර ගැනීමට කෙළෙහි ගුණ දන්නා කවුරුන්ගේ හෝ සහාය පතන ලන්ත්‍රා යුවළ, වියපත් අසරණ කලාකරුවන්ට පිහිටවන ජනාධිපතිතුමාට තමන්ගේ අසරණ භාවය පෙන්වා දෙන්න යැයි කලාකරුවන්ගෙන් ඉල්ලීමක්ද කෙළේය.

දැනට 70 වැනි වියේ පසුවන මේ අහිංසක ගායකයා සහ 67 වැනි වියේ පසුවන ඔහුගේ බිරිය පිළිබඳව හදවත් උණුවන කලාකරුවන් සිටීනම් , මේ නිවෙසට ගොඩවැදී ඔවුන් පිළිබඳව නිවැරැදි අයුරින් සිතා බලා උපකාරී වීම කලාවට කරන්නා වූ මහා ගෞරවයක් බැව් කිව යුතුය. තමන් ගායනා කළ ගීත ඇසීමට ඉතා පි‍්‍රයතාවයක් දක්වන හරූන් ලන්ත්‍රා තමන් සතුව ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ නොමැති බැව් පැවසුවේ සංවේදී හදවතකින්ය.

ඔවුනගේ ලිපිනය නො. 42 නිවාස යෝජනා ක්‍රමය, පොල්හේනවත්ත, කැලණිය.

Sunday, August 8, 2010

Thursday, August 5, 2010

Monday, August 2, 2010

මොවුන්ට පිහිට වෙන්න හැකි නම් ලොකු පිනක්‌

වනිතාවකගේ උතුම්ම පදවිය මව් පදවියයි. ඒ මවගේ උතුම්ම වස්‌තුව තම කුසින් මෙලොවට ජනිත කරවනු ලබන දූ දරුවන්ය. මව් සෙනෙහස නිසාම ඇගේ රතුවන් ලේ සුදෙන් සුදු කිරට හැරෙනා බව අමුතුවෙන් කිව යුත්තක්‌ නොවේ. අම්මා වගේම තම දූ පුතුන්ට ආදරය, කරුණාව, සෙනහස දක්‌වන අනෙක්‌ තැනැත්තා තාත්තාය. මවගේ අකල් වියෝවෙන් මව් කිරි අහිමි පුංචි ළදරුවකුට පියකු හෝ පියයුරු තුළින් පිය කිරි එරුණු පුවතක්‌ මේ ධර්මද්වීපය තුළින් අපට අසන්නට, දකින්නට ලැබුණි. දරුවන් බාල වියේදීම අතහැර වෙනත් විවාහයක්‌ සිදුකරගත් මවක නිසා මෙලොව මව් සෙනෙහස අහිමි වූ දරුවන් දෙදෙනකුට පීතෘ ප්‍රේමයෙන් ආදරය, කරුණාව, සෙනෙහස දක්‌වන පියකු ගැන අපට අසන්නට ලැබිණි.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අංක 63/නැ/කටාන ග්‍රාම නිලධාරි වසමේ 34/ඒ/1/ඒ, කල්දේරාවත්ත, කටාන ලිපිනයේ පදිංචි කච්චකඩුගේ ලිලන්ත ප්‍රනාන්දු ඒ පියාණන්ය.

මවගේ අඩුව මේ දරු දෙදෙනාට දැනෙන්නට මේ පියා ඉඩ නුදුන්නේය. කම්කරුවකු වශයෙන් සිය ජීවිකාව සරිකර ගන්නා මේ පියාගේ මූලික රැකියාව පොල් මෝල් රැකියාවයි.

පාන්දර 4.00 ට අවදිවී දරු දෙදෙනාගේ සියලුම කටයුතු සූදානම් කර, පාසලට අවශ්‍ය කෑම බීම පවා පිළියෙළ කර පාන්දර 5.00 ට පොල් මෝලේ රැකියාවට යන පියා පෙරළා නිවසට එන්නේ මධ්‍යාහ්න 12.00 ට ය.

දරු දෙදෙනාගේ දිවා භෝජනය සකසා පිඟන්වලට බෙදා ආපසු මෝලට යන්නේ ප.ව. 1.00 ට ය.

ප.ව. 5.00 ට වැඩ නිම කර ගෙදර පැමිණෙන පියා සිය දෑතින් දරුවන්ගේ ඇඳුම් පැළඳුමම් සෝදා වළං පිඟන් සෝදා ගෙවල් දොරවල් අතුපතු ගාන්නේ මැසිවිලි දෙඩීමකින් තොරවය.

මේ පියාගේ වැඩිමල් පුතු ඉෂාර අංජුලය. ඔහුගේ වයස අවුරුදු 12 කි. මීග/කටාන/විද්‍යාලෝක මහ විදුහලේ ඔහු අධ්‍යාපනය ලබයි. මල්කි නටාෂා දියණියගේ වයස අවුරුදු 9 කි. ඇය මිනු/ආඬිමුල්ල ප්‍රාථමික මිශ්‍ර විදුහලේ ඉගෙනුම ලබන්නීය.

දැනට මේ පියා සහ දරු දෙදෙනා පදිංචිව සිටින්නේ අනුන්ගේ ඉඩමක තාවකාලිකව තනාගත් නිවසකය. නිවසක්‌ කිව්වත් එහි කිසිම පහසුකමක්‌ හෝ ආරක්‍ෂාවක්‌ නොමැත.

ආර්ථික ප්‍රශ්න සමාජ දේශපාලන ප්‍රශ්න නිසා දරුවන් අතහැර වෙනත් විවාහයක්‌ සිදුකරගෙන දරුවන් අනාථ අසරණ තත්ත්වයට පත්කරනා සැමට මේ පියාණන් සැබෑ ආදර්ශයකි. මේ පියා සහ දරු දෙදෙනාට ඉන්න හිටින්න තැනක්‌ දී ඔවුන්ගේ අධ්‍යාපන හා ආර්ථිකය ශක්‌තිමත් කිරීමට අත දීමට සංවේදී හදවත් ඇති සැමගේ සානුකම්පාවට මේ පවුල බඳුන් වේවාෘ